Thursday, May 15, 2025
Home » පාර්ලිමේන්තුව වාර අවසාන කර තිබියදී ව්‍යවස්ථාපිත කරුණකට අත්සන් කරන්න කථානායකවරයාට බෑ

පාර්ලිමේන්තුව වාර අවසාන කර තිබියදී ව්‍යවස්ථාපිත කරුණකට අත්සන් කරන්න කථානායකවරයාට බෑ

by mahesh
March 1, 2024 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

පාර්ලිමේන්තුව වාර අවසාන කර තිබෙන අවස්ථාවක, ව්‍යවස්ථාපිත කරුණක් සඳහා අත්සන් කිරීමේ බලයක් කථානායකවරයාට නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

පෙරේදා (28) කොළඹ, විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තුව වාර අවසාන කරන අවස්ථාවක පාර්ලිමේන්තුවට යම් කාරණයක් ගෙනැවිත් එය අසම්පූර්ණ වී තිබෙනවා නම් එය සම්පූර්ණ කිරීමට හැකියාව තියෙන්නේ නැවත පාර්ලිමේන්තුව රැස්වූ පසුව බවත්, නමුත් කථානායකවරයා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට අත්සන් කළේ පාර්ලිමේන්තුව වාර අවසාන කර තිබෙන කාලයක බවත් පැවසූ කිරිඇල්ල මහතා, ඒ අනුව කථානායකවරයා පැහැදිලිවම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන බවද කීය.

එහිදී අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙලෙසද පැවසුවේය.

“මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත පාර්ලිමේන්තුවේ සම්මත වුණා. ඉන්පසුව පාර්ලිමේන්තුව වාර අවසාන කළා. පාර්ලිමේන්තුව වාර අවසාන කරලා තිබුණ වෙලාවක තමයි මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට කථානායකවරයා අත්සන් කරලා තියෙන්නේ. පාර්ලිමේන්තුව වාර අවසාන කරලා තිබෙන අවස්ථාවක ව්‍යවස්ථාපිත කරුණු කිසිවක් සිදුකරන්න බෑ. ඒ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙසේ සඳහන් වෙනවා. ‘යථා පරිදි පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන එනු ලැබ, පාර්ලිමේන්තුවේ වාරය අවසාන කරන අවස්ථාව වන විට කටයුතු නිම කරනු ලැබ නොමැති යම් කාරණයක් ඇත්තේද, ඒ සියලු කාරණා පිළිබඳ පාර්ලිමේන්තුවේ ඊළඟ සභාවාරයේදී ඉතිරි පියවර ගැනීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේය.’

කථානායකවරයාගේ අත්සන කියන්නේ ව්‍යවස්ථාපිත කාරණයක්. කථානායකවරයාගේ අත්සනින් පසුව තමයි ඕනෑම දෙයක් නීත්‍යනුකූල වෙන්නේ. පාර්ලිමේන්තුවේ නව වාරය ආරම්භ කළ දවසේ කථානායකවරයාට මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට අත්සන් කරන්න තිබුණා. පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාම ඒ පනත ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ පනත්වල සංශෝධන ඉදිරිපත් කරනවා. සංශෝධන නැතුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බෑ. නමුත් ව්‍යවස්ථා සංශෝධන 9ක් අවම වශයෙන් ප්‍රධාන කරුණු 5ක් ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කළ අවසාන පනතට ඇතුළත් කරලා නෑ. ශ්‍රේෂ්ඨාධිකරණය සංශෝධන නැතිව පනතක් ඉදිරිපත් කරන්න ව්‍යවස්ථාව අනුව නොහැකි දෙයක්. මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්න වැඩකටයුතු සූදානම් කරලා තිබෙනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT