රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපති ධුරයට පත් කිරීමට කටයුතු කළේ පොහොට්ටුව බැවින්, ඊළඟ ජනාධිපතිවරණයේදී ඔහුට සහය පළ නොකර සිටීමට පොහොට්ටුවට අයිතියක් නැතැයි තමන් පෞද්ගලිකව විශ්වාස කරන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඔහු අවධාරණය කරන්නේ ඊළඟ ජනාධිපතිවරණයේදී පොහොට්ටුවට විකල්ප අපේක්ෂකයකු නැත්නම් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම වඩාත් සුදුසු බවයි. පොහොට්ටුවට වෙනත් විකල්ප අපේක්ෂකයකු සිටින බව තමන්ට පෙනෙන්නට නැතැයිද ඇමැතිවරයා කියා සිටියේය.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ගාලු කොටුවේ හෝල් ඩී ගෝල් ශාලාවේදී පෙරේදා (28) පැවති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වීමෙන් අනතුරුව, මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා මෙසේද කීවේය.
Òරනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපති කරන්න තීන්දුව ගත්තේ අපේ පක්ෂයේ නායකයන්. අපේ පක්ෂයේ නායකයන් දුන් උපදෙස් අනුවයි අපි පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා විදියට රනිල් වික්‍රමසිංහ මහතාව පත් කරන්න අපේ සහයෝගය ලබා දුන්නේ. ඔහු මේ වන විට ආර්ථික අභියෝගය ජයග්‍රහණය කරලා රටේ ප්‍රශ්න විසඳමින් සිටිනවා. රනිල් වික්‍රමසිංහ මහතාව පත් කරන්න පොහොට්ටුව ගත් තීරණය ඒ වෙලාවේ ගත යුතුව තිබූ හොඳම තීරණය ලෙසයි මා සලකන්නේ. මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්න වෙන කිසිවකුට හැකියාවක් තිබුණේ නෑ. ඒ වෙලාවේ ජනාධිපති ධුරය භාර ගන්න කියලා ඉල්ලීම් කළාම ඒ අය ඒක ප්‍රතික්ෂේප කළා. අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස කියන දෙන්නත් මේ වගකීම භාර ගන්න අකමැති වුණා. ඒ නිසා මම හිතනවා මේ මොහොතේ පක්ෂයක් විදියට අපි ගත යුතුව තිබෙන නිවැරැදිම තීන්දුව තමයි රනිල් වික්‍රමසිංහ මහතාට ඊළඟ ජනාධිපතිවරණයේදී සහාය පළ කිරීම. ඔහු තරග කරන්න අවශ්‍ය කුමන පක්ෂයෙන් ද කුමන ලකුණෙන් ද කියන එක සාකච්ඡා කරලා තීරණය කරන්න පුළුවන්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ හැම වෙලාවෙම ජනතාව හා රට ගැන හිතලා තීන්දු තීරණ ගත්ත පක්ෂයක්. බැසිල් රාජපක්ෂ මහතා ළඟදීම ලංකාවට එනවා. ඔහු ලංකාවට ආවට පස්සේ පක්ෂයේ යන්ත්‍රණය ශක්තිමත් කරලා, පක්ෂය ශක්තිමත් කරනවා. ඊට පස්සේ අපි ජනාධිපතිවරණයේදී ගත යුතුව තිබෙන තීරණය කියාවී. මුලින් පැවැත්වෙන්නේ මහ මැතිවරණයක් බවට ඇතැමුන් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසුමට පිළිතුර දුන් ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ, මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් ඕනෑම කෙනකුට සිය පෞද්ගලික මත දැරිය හැකි බවයි. එහෙත් ව්‍යවස්ථානුකූලව මීළඟට පැවැත්විය යුතුව තියෙන්නේ ජනාධිපතිවරණයක් බවත්, ඒ නිසා මේ වසරේදී අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුව සූදානම් වෙමින් සිටින බවත් ඇමැතිවරයා සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් ඇතැමුන් කරන ප්‍රකාශ පිළිබඳව කලබල විය යුතු නැති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.