Home » පාණදුර-කොටුව ගල්කිස්ස-මට්ටක්කුලිය රේස් ගිහින් ත්‍රිරෝද රියැදුරුට දිවි අහිමි වෙයි

පාණදුර-කොටුව ගල්කිස්ස-මට්ටක්කුලිය රේස් ගිහින් ත්‍රිරෝද රියැදුරුට දිවි අහිමි වෙයි

by mahesh
March 1, 2024 1:00 am 0 comment

ගල්කිස්ස - ෂෙහාන් ජයවර්ධන දෙහිවල- ඩී. පී. හේරත්

දෙහිවල ගුවන් පාලම අසලදී ගල්කිස්ස සිට මට්ටක්කුලිය බලා ධාවනය වූ බස් රථය ඉදිරියෙන් ගමන් කර සිටියදී පාණදුර සිට පිටකොටුව දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් පිටුපසින් ගමන් කර ඇති අතර එම බස් රථ දෙකට මැදිව ධාවනය වූ ත්‍රිරෝද රථය බස් රථ දෙකේ ඉදිරියේ හා පසුපස ගැටී ඊයේ (29) දින උදෑසන 8.50 ට පමණ රිය අනතුරකට ලක් වී ත්‍රිරෝද රථ රියැදුරෙකු මරණයට පත්ව ඇති බව දෙහිවල පොලිසිය පැවසීය. අනතුරින් ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 56ක් වන ඇන්ටන් නමැති එක්දරු පියෙක් මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිසිය පවසයි. කුලී ත්‍රිරෝද රථය රියැදුරෙකු ලෙස රැකියාව කරන මරණකරු ඔහුගේ බිරිය සමඟ නිවසින් පිටව රැකියා සඳහා පැමිණ දෙහිවල මංසන්ධියෙන් සිය බිරිඳව ත්‍රිරෝද රථයෙන් බසවා පසුව ඉදිරියට ධාවනය කරමින් සිටින අවස්ථාවේ දී මෙම මාරක රිය අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසයි.

මෙම අනතුර වන අවස්ථාවේ දී දෙහිවල මංසන්ධියේ දී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් මෙම අනතුර දැක ඇති අතර එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් සහ අවට පිරිස එක්ව අනතුට පත් ත්‍රිරෝද රථ රියැදුරු හැකි ඉක්මනින් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත. අනතුරට පත් රියැදුරු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර රෝහල් ආරංචි මාර්ග පවසන්නේ මරණකරුගේ මොළයට සහ බෙල්ල පිටුපසට සිදු වී ඇති දැඩි හානිය හේතුවෙන් ත්‍රිරෝද රථ රියැදුරු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

ත්‍රිරෝද රථ රියැදුරු වසර 20 පමණ කාලයක් බස්රථ රියැදුරෙකු ලෙස සේවය කර ඇති අතර පසුව කුලී ත්‍රිරෝද රථ රියැදුරෙකු ලෙස තම රැකියව කරගෙන ගොස් ඇති අවස්ථාවක මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වී ඇත.

පිටුපසින් පැමිණ ත්‍රිරෝද රථයේ ගැටීම හේතුවෙන් පාණදුර පිටකොටුව බස්රථයේ රියැදුරු වන මඩකළපුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48ක් වන ලෝගේශවරම් නමැති සැකකරු දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව දෙහිවල පොලිසිය පවසයි. අනතුරින් ජීවිතක්ෂයට පත් ත්‍රිරෝද රථය රියැදුරුගේ දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන දෙහිවල පොලිස් රථවාහන අංශයේ පොලිස් පරීක්ෂක ලලිත් විසින් සිදුකරගෙන යනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT