වැලිපැන්න පොලිස් වසමේ මල්වතුකන්ද ප්රදේශයේදී 33 හැවිරිදි පුද්ගලයෙකු පෙරේදා (28) පිහි පහරදී ඝාතනය කර ඇත්තේ කෝන්තරයක් පිරිමසා ගැනීමට බව වැලිපැන්න පොලිසිය පවසයි. වැලිපැන්න, හොරවල, පැලකැටියාගොඩ පදිංචි මල්ලවආරච්චි කංකානම්ගේ තරිඳු ධනංජය නම් අයෙකු මෙසේ ඝාතනය කර ඇත. දියඋල්පත, හොරවල, වැලිපැන්න පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇති අතර, සැකකරු සන්තකයේ තිබී මීට පෙර ගිනි අවියක් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම ගිනි අවිය පිළිබඳව මියගිය අය විසින් පොලිසියට තොරතුරු ලබාදුන් බවට සැකකරු, මියගිය අය සමඟ ඇතිවූ කෝන්තරයක් සහ වෙනත් පෞද්ගලික හේතුන් කීපයක් මුල්කරගෙන ඇතිවූ ආරවුලක් අතරතුර සැකකරු විසින් පිහියකින් ඇන මෙම ඝාතනය සිදු කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි. පිහි පහර කෑමෙන් අනතුරුව තුවාලකරුව වෑත්තෑව රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වන විටත් මියගොස් සිට ඇති බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි. මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු මේ වනවිට ප්රදේශයෙන් පලාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් යොදවා ඇත.
ගිනි අවියක තොරතුරු දුන්නැයි කෝන්තර බැඳ පිහියෙන් ඇන මරා දමයි
by mahesh
March 1, 2024 1:00 am
0 comment
මතුගම සමූහ - බී. ටී. තඹවිට
192