Home » රාලහාමිලාට තග දමා ස්කූටරයෙන් ඉගිලුණු බීමත් සෙබළියෝ දෙදෙනා අත්අඩංගුවට

රාලහාමිලාට තග දමා ස්කූටරයෙන් ඉගිලුණු බීමත් සෙබළියෝ දෙදෙනා අත්අඩංගුවට

by mahesh
March 1, 2024 1:00 am 0 comment

බණ්ඩාරගම - බිමල් ජයසිංහ පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක

මත්පැන් පානය කර යතුරුපැදියක් පදවා පොලිස් නිලධාරීන් දෙදෙනකුට සාපරාධී බලහත්කාරය පෑ හිටපු යුද හමුදා සෙබළියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ මූණගම දික්හේනගම පදිංචි යුද හමුදාවේ විශ්‍රාමික 38 හැවිරිදි සෙබළියක් සහ හලාවත මාරවිල පදිංචි පනාගොඩ යුද හමුදා කඳවුරේ සාමාන්‍ය සෙබළියක් ලෙස සේවය කර මීට මාස තුනකට පෙර පලා ගිය බව කියන 21 හැවිරිදි තැනැත්තියකි.

මොවුන් දෙදෙනාම යුද හමුදා ක්‍රීඩා අංශයේ සේවය කළ අයවලුන් බව පොලිසිය සඳහන් කරයි. හොරණ මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පාණදුර රත්නපුර මාර්ගයේ ඉලිඹ හන්දියේ රාත්‍රි 10.30ට පමණ රථවාහන රාජකාරියේ නිරතව සිටිය දී ඉංගිරිය දෙස සිට දෙදෙනෙකු පැමිණි ස්කූටර් වර්ගයේ යතුරුපැදිය නැවතීමට සංඥා කර තිබූ බව පොලිසිය පවසයි.

එම සංඥාවලට අවනත නොවූ සැකකාර පැදිකාරිය පොලිස් නිලධාරීන් පසුකර කටුහේන අතුරු මාර්ගයට යොමු කර පලායාමේදී පොලිස් නිලධාරීන් දෙදෙනා ද පොලිස් යතුරුපැදියෙන් මීටර් 300ක පමණ දුරක් පසුපස හඹා ගොස් සැකකාරියන් දෙදෙනා නවත්වාගෙන යතුරුපැදියේ යතුර සිය භාරයට ගැනීමට කටයුතු කර ඇත.

එහිදී සැකකාර විශ්‍රාමික සෙබළිය නිලධාරීන් අමතා Òතමන් යුද හමුදා බුද්ධි අංශයේ සෙබළියන් දෙදෙනෙක් බවත් තමන්ගේ රාජකාරී ගමනට බාධා කිරීමට පැමිණි බවට උසස් නිලධාරීන්ට පැමිණිලි කරන බවටÓ පවසා පොලිස් නිලධාරීන්ට තර්ජනය කර එම ස්ථානයෙන් පලා යාමට උත්සාහ දරා ඇති අතර එය අසාර්ථක වූ පසු Òතමන්ට නිවසේදී මත්පැන් පානය කිරීමට අවසර නැද්දÓ යනුවෙන් පොලිස් නිලධාරීන් සමඟ තර්ක කරමින් සාපරාධී බලහත්කාරය පා ඇතැයි පොලිසිය පවසයි. අනතුරුව රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනා රාත්‍රි ජංගම සංචාරක කැබ් රථයෙන් පොලිස් කාන්තාවක් එම ස්ථානය වෙත ගෙන්වා සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට කටයුතු කර ඒ බව හමුදා පොලිසියට ද දැනුම් දීමට කටයුතු කළ බව පොලිස් නිලධාරියකු පැවසීය.

අනතුරුව සැකකාර සෙබළියන් දෙදෙනා මත්පැන් පානය කර සිටීම සම්බන්ධයෙන් තවදුරටත් සනාථ කර ගැනීම ශ්වසන නළ පරීක්ෂාවක් ද සිදු කළ බවත් එමඟින් ද ඒ බව සනාථ වූ බවත් එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. සැකකාරියන් දෙදෙනා හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT