පාදුක්ක, බෝපේ ප්‍රදේශයේ පාසලක ශිෂ්‍ය නායකයෙකුට පහරදුන් තවත් සිසුවෙකුගේ පියෙකු, පාදුක්ක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු විදුහල්පතිවරයාගේ සහ දෙපාර්ශ්වයේ මවුපියන්ගේ එකඟතාවය මත, පහරකෑමට ලක්වූ සිසුවාට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රුපියල් 25000ක මුදලක් එම සිසුවාගේ පියාට ගෙවීමෙන් පසුව 28 දින ආරවුල සමථයකට පත්වූ බව පාදුක්ක පොලිසිය පවසයි.
පාසලේ ශිෂ්‍යනායක සිසුවෙකු සහ තවත් සිසුවෙකු අතර පාසලේදී ඇතිවූ බහින්බස්වීමක් ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිගයෑමෙන් පසු, එක් සිසුවෙකුගේ පියෙකු ශිෂ්‍යනායක සිසුවාට පහරදීමක් සිදුකර ඇත.
සිද්ධියෙන් පසු පහරකෑමට ලක්වූ සිසුවා ප්‍රතිකාර සඳහා රෝහල්ගත වී ඇත.
මෙම ගැටලුව දුරදිග නොගොස් දෙපාර්ශ්වයේ එකඟතාවය මත සමථයට පත්කර ගැනීමට දෙමව්පියන් සහ විදුහලේ විදුහල්පතිවරයා එකඟතාවයට පැමිණ ඇත.
ඒ අනුව රෝහල්ගතව සිටින සිසුවාට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පහරදුන් පියා විසින් රුපියල් 25000 ක මුදලක් පහරකෑමට ලක්වූ සිසුවාගේ පියාට ලබාදී ඇත.
මීට අමතරව රෝහල්ගතව සිටින සිසුවා පාසලට පැමිණීමෙන් පසු, තම දරුවාටත් පාසලේ අනෙකුත් දරුවන්ටත් ආදර්ශයක් වෙන ආකාරයට, තමන් පහරදුන් සිසුවාගෙන් විදුහලේදී සමාව අයදීමට එම පියා පොරොන්දුවීමෙන් පසුව ආරවුල සමථයකට පත් කර ගත් බව පාදුක්ක පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසීය.