යකඩ මිටි දෙකකින් අපි දෙන්නා ගඩොල් බිත්තියක් කඩමින් සිටියදී එක්වරම බිත්තියේ ඉහළ කොටස කොන්ක්‍රීට් බීම් එකත් සමඟ අපි දෙන්නාගේ ඇඟ මතට කඩා වැටී කොන්ක්‍රීට් බීම් එක සුගත්ගේ පපුව මතටත් මගේ ඉනෙන් පහළටත් වැටී ඊට යට වී අනතුර සිදුවූ බව අනතුරින් දිවි බේරාගත් හෝමාගම කුලසිරි කුමාරගේ මාවතේ අංක 286 හි පදිංචි අතුකෝරළාගේ ප්‍රදීප් සම්පත් සෙනෙවිරත්න (34) නමැති පෙදරේරුවකු අනතුරින් මියගිය සිය සහායකයාගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේ සාක්ෂි දෙමින් පැවසීය.
කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා විසින් මෘත දේහයේ හදිසි මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේදී පෙරේදා (28) පැවැත්වුණි. මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය සී. පී. ගෝවින්නගේ මහතා විසින් සිදු කරන ලදි. මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම ගැමුණු මාවතේ තාවකාලිකව පදිංචි හබරාදූව, දුව මළලගල, රත්නැහැරවත්තේ පදිංචි සුගත් මාරඹගේ නමැති (45) හැවිරිදි කම්කරුවෙකි.
එහිදී තවදුරටත් සාක්ෂි දෙමින් සිද්ධිය ඇසින් දුටු ප්‍රදීප් සම්පත් සෙනෙවිරත්න මෙසේ ද පැවසීය.
Òමේ මියගොස් සිටින සුගත් අයියා සමඟ මම අවුරුදු තුනක පමණ සිට මේසන් වැඩට අත්උදව් දෙනවා. 28දා මහරගම නගරයේ DOWN TOWN වෙළෙඳසලෙහි පැරණි බිත්තියක් කඩා ඉවත් කරමින් සිටි අපි දෙන්නා යකඩ මිටි දෙකකින් බිත්තියට සවි කර තිබූ ජනේලයක් ඉවත් කරන්න ගඩොල් කඩමින් සිටියා. ඒ වෙලාවේ එක්වරම ජනේලයට උඩින් තිබුණු බිත්ති කොටසක් අඟල් නමයක් විතර පළල අඩි හතක් විතර දිග කොන්ක්‍රීට් බීම් එකත් එක්ක අපි දෙන්නගේ ඇඟ උඩට වැටුණා. කොන්ක්‍රීට් බීම් එකේ කැඩී ඉවත් නොවුණු ගඩොල් තොගයක් සමඟ බර කොටස සුගත් අයියගේ පපුව මතට වැටුණා. මගේ ඉනෙන් පල්ලෙහා කොටස ඊට යට වුණා. ඊට පස්සේ අසල සිට පිරිස පැමිණ අපි දෙන්නව කළුබෝවිල රෝහලට අරගෙන ගියා. ඊට පස්සේ තමයි මම දැනගත්තේ සුගත් අයියා මියගිහිල්ලා කියල.
හබරාදූව, දූවමළලගම රත්නැහැර වත්ත පදිංචි මාසකෝරාලගේ රංජනි (45) මියගිය පුද්ගලයාගේ නිත්‍යානුකූල බිරිඳ සාක්ෂි දෙමින් මෙසේ පැවසීය.
Òමේ මියගිහින් ඉන්නේ මගේ නිත්‍යානුකූල සැමියා. අවුරුදු 25ට පෙර අපි විවාහ වුණේ. අපි දෙන්නට දාව දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. ඔහු දැනට අවුරුදු හතක පමණ සිට කොළඹ ප්‍රදේශයේ මේසන් වැඩ කළා. ඉඳලා හිටලා ගෙදර ඇවිත් යන්න එනවා. 27දා රෑ මගේ ඥාතියකු දුරකතනයෙන් කතා කරලා කිව්වා සුගත් වැඩ කරද්දී කොන්ක්‍රීට් ලෑල්ලක් ඇඟට කඩාවැටිලා කළුබෝවිල ඉස්පිරිතාලයට අරන් යද්දි මිය ගිහිල්ලා කියලා. ඊට පස්සේ තමයි අපි කළුබෝවිල රෝහලට ආවේ. මරණය පිළිබඳ මට සැකයක් නැහැ. අවසන් කටයුතු සිදු කිරීමට දේහය මට භාර දෙන ලෙස ඉල්ලා සිටිනවාÓ යැයි කීවාය. ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට අනුව කොන්ක්‍රීට් තට්ටුවක් සිරුර මතට වැටීමෙන් පපුවට සිදුවූ බරපතළ තුවාල මරණයට හේතුව බව කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා නිගමනය කළේය.
මෙහිදී බිත්තියක පහළ කොටසක් කඩා ඉවත් කිරීමේදී ඉහළ කොටස අනතුරුදායක ලෙස කඩාවැටීමට ඉඩ ඇති නිසා ඒ පිළිබඳ අවධානයෙන් සිට සේවයේ නිරත විය යුතු වුවත් අනතුරට පත් දෙදෙනා නොසැලකිලිමත් ලෙස සේවයේ නිරත වීම නිසා අවාසනාවන්ත ලෙස මෙම ඉරණමට ලක්ව ඇති බවත් මෙවන් කාර්යයන්හි නිරත වන වෙනත් පුද්ගලයන් ද මෙම සිදුවීම ආදර්ශයට ගෙන සැලකිලිමත්ව කටයුතු කිරීමට වගබලා ගන්නා ලෙසත් හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා මරණ පරීක්ෂණයේ තීන්දුව ලබාදෙමින් වැඩිදුරත් පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසියේ පො. කො. (85367) රවීන්ද්‍ර නිලධාරිහු පරීක්ෂණ මෙහෙයවූහ.