ඉන්දියාවේ ජර්කාන්ඩ් ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරකින් 12 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි ද, තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා රාත්‍රී 7ට පමණ මේ අනතුර සිදුවී ඇති අතර, ඊට හේතු වී ඇත්තේ දුම්රිය මැදිරියක ගින්නක් හට ගත් බවට පැතිරී ගිය පුවතක් හේතුවෙන් මගින් සිය ගණනක් ඉන් බැස ඒ ආසන්නයේ වූ දුම්රිය මාර්ගය ඔස්සේ දිවයද්දී විරුද්ධ දිශාවෙන් ධාවනය වූ දුම්රියකට යට වීමෙන් බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
අනතුරට ලක් වී ඇත්තේ විධ්යාසාගර් නුවර සිට කසිටාර් නුවර බලා ධාවනය වූ අංගා එක්ස්ප්‍රස් ශීඝ්‍රගාමි දුම්රියේ පැමිණි මගීන් පිරිසකි. එම දුම්රියේ ගිනිගැනීමක් සිදුවන බවට පැතිරී ගිය පුවතකින් කැලඹුණු එම මගීන් හදිසි දම්වැල ඇද දුම්රිය නවත්වා විරුද්ධ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයට පිවිස ඉදිරියට දිව ගොස් අතර, ඒ වන විට විරුද්ධ දිශාවට ධාවනය වූ කෙටිදුර ධාවන දුම්රියක් ඊට කිලෝමිටර් 2ක් ඈතින් පැමිණෙමින් තිබූ බව දැක නැති බවත් වාර්තා වේ. එම අනතුර පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.