(දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක මැටරඹ හේමරතන නාහිමියන්ගේ තෙමස් පූර්ණ ගුණානුස්මරණ පින්කම් ඊයේ (01) ආරම්භ කෙරුණු අතර පින්කම් අදත් (02) හෙටත්(03) සිතුල්පව්ව රජමහා විහාරයේදීත්,ගාල්ලේ යටගල රජමහා විහාරයේදීත් පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.)
රුහුණු ප්‍රදේශයට මහා පෞරුෂයක් සහිතව වැඩසිටිමින් අසහාය ලෝක ශාසනික මෙහෙවරක නිරතව සිටි අප නායක මාහිමිපාණන් වහන්සේ ජන්මලාභය ලබන්නේ අක්මීමන තල්පේපත්තුවේ පිහිටි මැටරඹ නම් ගමේය.ඒ 1941 සැප්තැම්බර් 17 වැනි දිනයි. අහංගම නානායක්කාර ගමගේ නෙල්සන් නානායක්කාර නම් වූ මේ කුමරුවාගේ මවුපියන් වූයේ අහංගම නානායක්කාර ගමගේ ජේමිස් ලොකු අප්පුහාමි සහ අක්මීමන පල්ලියගුරුගේ ඇලිස් නෝනා මහත්මියයි. උන්වහන්සේගේ පැවිද්ද සිදුවන්නේ දකුණු පළාතේ කීර්තිමත් සඟ පරපුරක් වන කැටගොඩ සඟ පරපුරෙහිය. ඒ 1956 අප්‍රේල් මස පස්වැනි දින යටගල රාජමහා විහාරයේදී ය. උන්වහන්සේගේ ගුරු හිමිවරුන් වන්නේ යටගල රාජමහා විහාරයේ ආධිපත්‍යය ඉසුලූ ඉලෙක්පිටියේ ජිනරතන, වත්තෙහේනේ රතනසාර, වත්තේහේනේ පියරතන මහා හිමිවරුන්ය. මූලික පාරිවේණික අධ්‍යාපනය හීනටිගල විද්‍යාකාන්ති පිරිවෙනින් ද අනතුරුව වැඩිදුර අධ්‍යාපනය මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයෙන් ද උපාධි අධ්‍යාපනය විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ද සපුරා ගත්හ.මේ අතර රත්මලාන පරිවේණාචාර්ය අභ්‍යාස විද්‍යාලයෙන් ගුරු පුහුණුව ලබා ප්‍රවීණාචාර්ය සහතිකය ද ලැබූහ. කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ද ලදහ.
1965 මැයි 21 වැනි දින මහනුවර මල්වතු මහා විහාරයේදී උපසම්පදාව ලබා අනතුරුව යටගල හෙට්ටාචල පිරිවෙණෙහි ආචාර්යවරයකු ලෙස ගුරු දිවිය ඇරඹූ අප නාහිමියෝ එහි පරිවෙණාධිපති ධුරය ද කෘත්‍යාධිකාරි ධුරය ද දරා ගාලු දිසාවේ සියලු පහසුකම් සපිරි සුපිරි පිරිවෙණක් බවට එම පිරිවෙණ උන්වහන්සේ පත් කළහ.
උන්වහන්සේගේ ජීවිතයේ අවසන් දසවස සම්පූර්ණයෙන්ම ගෙවුණේ සිතුල්පව්ව ඓතිහාසික පුදබිම සංවර්ධනය කිරීම වෙනුවෙනි. වාර්ෂිකව වන්දනාවට එන දහස් ගණනක් බැතිමතුන්ගේ අවශ්‍යතා හොඳින් තේරුම් ගත් උන්වහන්සේ නවීන පහසුකම් සහිත විශ්‍රාම ශාලාව සහ භික්ෂුන්ගේ පරිහරණයට අවශ්‍ය තෙමහල් සංඝාවාසය ඉදි කර බොහෝ පහසුකම් සපුරන ලදහ. වාර්ෂික පොසොන් මහෝත්සවය අනුරාධපුරයට නොදෙවැනි ලෙස සංවිධානය කිරීමට උන්වහන්සේ ක්‍රියා කළහ. උන්වහන්සේගේ කරුණාවට ලක් වූ වන සතුන් පවා විහාර බිමේ නිදහසේ සැරිසරන යුගයක් උන්වහන්සේ නිර්මාණය කළහ. මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය පාලකයන්ගේ නොමඳ අනුග්‍රහය මේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ලද බව විශේෂයෙන් සඳහන් කරමු. එපමණක් නොව උන්වහන්සේ යටතේ පැවැති අනෙකුත් විහාරස්ථානයන් තම ශිෂ්‍යයන් වෙත පවරා ඒ සියල්ලෙහිම දියුණුවට ද මඟපෙන්වූහ.
උන්වහන්සේගේ මෙහෙවර ඇගයූ මල්වතු මහා විහාරයෙන් දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ධුරය ද පිරිනමා උපහාර කළ අතර මියන්මාර් රජය අග්ගමහා පණ්ඩිත ගෞරවෝපාධිය ද උන්වහන්සේ වෙත පිරිනැමීය.
රටවල් රාශියක බෞද්ධ ධර්ම දූත මෙහෙවරෙහි යෙදුණු උන්වහන්සේ තමාගෙන් පසු තම මෙහෙවර ඉටුකිරීමෙහිලා දක්ෂ, පරිණත සිසු පරපුරක් ද හදාවඩා ගත්හ. ඒ අතර කොළඹ නාලන්දා විද්‍යාලයේ විශ්‍රාමික ආචාර්ය වර්තමාන සිතුල්පව්ව විහාරාධිකාරි ලේල්වල සමිත හිමි, පිරිවෙන් සහකාර අධ්‍යාපන අධ්යක්ෂ කෙහෙල්වල සුමංගල හිමි, වර්තමාන පරිවෙණාධිපති පදලංගල අස්සජී හිමි, යෝධකණ්ඩිය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති බෝපගොඩ නාගිත හිමියන් ඇතුළු විශාල පිරිසක් වෙති.
භික්ෂුවක තුළ පැවැතිය යුතු උසස් සාරධර්ම, ගුණධර්ම, භික්ෂු ධර්ම නොඅඩුව රැක ගනිමින් භික්ෂු සමාජයට වටිනා ආදර්ශයක් සපයා අපවත් වී වදාළ අප නාහිමියන්ට නිවන් සුව ලැබේවා!.
මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමි,
බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක