ශ්‍රී ලංකාවේ ආර්ථික අයිතිවාසිකම් උල්ලංඝනය වන ඕනෑම අවස්ථාවකදී ඊට එරෙහිව කටයුතු කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කෙළේ ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරේ පෙරේදා (29) පස්වරුවේ පැවැති ශ්‍රී ලංකා ගුවන් හමුදා කැඩෙට් නිලධාරීන් අධිකාරියට පත්කිරීමේ උත්සවයට එක්වෙමිනි.
ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුර වෙත පැමිණි සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගුවන් හමුදා උත්තමාචාර සහිතව අභිමානවත් අයුරින් පිළිගැනිණිනි.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අංක 36, 37 හා 38 යන කැඩෙට් පාඨමාලාවලට අදාළව කැඩෙට් නිලධාරි නිලධාරිනියන් 16 දෙනෙකු අංක 65 සහ 66 කැඩෙට් නිලධාරි පාඨමාලාවේ නිලධාරීන් 36 දෙනෙකු සහ අංක 17 හා 18 කැඩෙට් නිලධාරිනී පාඨමාලාවේ නිලධාරිනියන් 5 දෙනෙකු අමෙරිකා එක්සත් ජනපද 2023 කැඩෙට් නිලධාරියකු අධිකාරියට පත් කිරීම මෙහිදී සිදු විය.
පුහුණුවීමේදී දක්ෂතා දැක්වූ කැඩෙට් නිලධාරීන් 05 දෙනෙක් හා එක් කැඩෙට් නිලධාරිනියකට සම්මාන පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
මෙම විසිරයාමේ පෙළපාලියට අභිමානවත් බවක් එක්කරමින් ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායම විචිත්‍රවත් සංදර්ශනයක් ඉදිරිපත් කරනු ලැබූ අතර ලක්අඹර ජයගත් ගුවන් හමුදා පැරෂුට් භටයින් විසින් නිල් අහසේ තම අණසක පතුරවමින් නිදහසේ එක් එක් රටා මවමින් රාත්‍රි පැරෂුට් සංදර්ශනයක් ඉදිරිපත් කරන ලදි.
විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශනයකින් ද මෙම අවස්ථාව වර්ණවත් වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව රාත්‍රී විසිරයාමේ පෙළපාලියක් පවත්වනු ලැබූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය ගුවන් හමුදා ඉතිහාසයට එක් වේ.
විසිරයාමේ පෙළපාලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවැසීය.
‘රතු මුහුද ආශ්‍රිතව මේ වනවිට සිදුවන සිදුවීම්වලින් ශ්‍රී ලංකාවේ ආර්ථික අයිතිවාසිකම්වලට හානියක් සිදු වෙනවා නම් ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. කලාපයේ සහ ලෝක සාමයට ප්‍රශ්න ඇතිවන සෑම අවස්ථාවකම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩපිළිවෙළට අවශ්‍ය සහාය ලබාදීමට ශ්‍රී ලංකාව කටයුතු කරනවා.
ලෝක සාමය සහ කලාපයේ සාමය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව ඉතිහාසයේ සිටම කටයුතු කර තිබෙනවා. ඒ පිළිබඳව ඍජු තීරණ ගන්නවා. ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ වගකීම සහ වගවීම ජනාධිපතිවරයා සිහිපත් කර සිටිනවා.
ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරේ කැඩෙට් පාඨමාලව සාර්ථකව අවසන් කර විසිර යන නිලධාරීන් 58 දෙනාගේ වැදගත්ම දිනය අදයි. ඔබ කිසිවිටෙක තමන් හැදූ වැඩූ මවුපියන් අමතක නොකළ යුතුයි. මවුපියන් සහ ගුරුවරුන් ඔබගේ ජීවිතය හැඩගැස්වීමට කැප වුණා. ඒ සියලු දෙනාට ඔබගේ ස්තූතිය පුද කළ යුතුයි. අද ඔබ ගුවන් හමුදාවේ නිලධාරියෙක් ලෙස වැදගත් කාර්යයක් භාරගන්නවා. ඒ වගේම මෙරට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව ආරක්ෂා කිරීමේ වගකීම භාරගනු ලබනවා. ඒ වගේම තමන් යටතේ සිටින අයට නායකත්වය ලබාදීමේ වගකීම භාර ගන්නවා.
ඔබ රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට කැපවී සිටිනවා. එය කිසිවිටෙක අමතක නොකළ යුතුයි. ශ්‍රී ලංකා ජනරයේ ස්ථාවරභාවය සහ ආරක්ෂාව තහවුරු වන්නේ ඔබ එම යුතුකම ඉටුකළහොත් පමණයි. ඒ නිසා එය ප්‍රධාන කාර්යයක් ලෙස සැලකිය යුතුයි.
ඒ වගේම ඔබ සමඟ වැඩ කරන ඔබ නායකත්වය ලබා දෙන අනෙක් සියලුදෙනාට ද ඔබ ගරු කළ යුතුයි. ඒ වගේම ඔවුන්ට මඟපෙන්විය යුතුයි. සෑමවිටම ඉදිරියෙන් සිටින්න. තමන් යටතේ සිටින අය තමන්ට කීකරු වනු ඇතැයි අපේක්ෂා කරනවා නම් තමන් තමන්ගේ ජ්‍යෙෂ්ඨයන්ටත් කීකරු විය යුතුයි. නියම විනයක් ඇතිවන්නේ එවිටයි.
ඒ වගේම නිලධාරියකු ලෙස ඔබේ සෑම වගකීමක්ම ඉටු කළ යුතුයි. නායකත්වය ලබාදීමට පසුබටවෙන්න එපා.
ගැටලුවක් මතු වූ විට ඉන් ඉවත් වෙන්න එපා. ජනරජය වෙනුවෙන් තමන්ට වගකීමක් තිබෙනවා නම් එම වගකීම සෑමවිටම නොබියව ඉෂ්ට කිරීම ඔබේ යුතුකමයි. රට අභ්‍යන්තර සහ විදේශ සතුරු බලවේගවලින් ආරක්ෂා කිරීමේ වගකීම ඔබට පැවරෙනවා. අද අභ්‍යන්තර වශයෙන් අපේ රටේ ආර්ථිකය, සමාජ ක්‍රමය, දේශපාලන ක්‍රමය කඩාවැටුණු තත්ත්වයකින් ඉදිරියට එමින් තිබෙනවා.
අපට නැවත එම යුගයට යා නොහැකියි. ඒ නිසා මෙතැන් සිට අප ඉදිරියට යා යුතුයි. ඒ සඳහා රටේ විශාල නවීකරණයක් සිදු කළ යුතුයි. ශීඝ්‍රයෙන් දියුණුවන ආර්ථික පරිවර්තනයකට යා යුතුයි. නොදියුණු රටක් ලෙස අපට තවදුරටත් ඉදිරියට යන්න බැහැ. මේ වගකීම ඉටු කිරීමේ දී එහි වාසිය ලැබෙන්නේ ඔබටත්, ඔබේ දූ දරුවන්ටත් බව ප්‍රකාශ කළ යුතුයි.
ඒ නිසා සෑම අවස්ථාවකම රටේ නීතිය ආරක්ෂා කරමින් ව්‍යවස්ථාව අනුව රටේ ස්ථාවරභාවය ආරක්ෂා කිරීමට ඔබ කැපවිය යුතුයි. ඒ අනුව තමයි රට දියුණු කිරීමට හැකියාව ලැබෙන්නේ. ඒ වගේම අපේ රට සතුරු උවදුරුවලින් ආරක්ෂා කර ගැනීම පමණක් නොවෙයි අද පවතින ජාත්‍යන්තර දේශපාලන තත්ත්වය අනුව කලාපයේ ආරක්ෂාව ද තහවුරු කිරීමට කටයුතු කළ යුතුයි.
කලාපයේ සාමයට සහ ස්ථාවරත්වයට හානියක් වෙනවා නම්, එය අපේ රටට සිදුවන අනතුරක් බව කිවයුතුයි. අපිට රටක් ලෙස තනිව ජීවත් වෙන්න බැහැ. සෑම රටක් සමඟම අත්වැල් බැඳගෙන ඉදිරියට යා යුතුයි. යුද්ධයක් කර පළපුරුද්දක් ලැබූ ලංකාව වැනි රටක් එහිදී පැත්තකට වී සිටියොත් එය අපේ යුතුකම් පැහැර හැරීමක් වෙනවා. කලාපයේ ස්ථාවරභාවයත් ආරක්ෂාවත් වැදගත් වෙනවා. ඒ වගේම ලෝක සාමයත් අපට වැදගත් වෙනවා. ඒ නිසා එම කටයුතුවලට අපේ ත්‍රිවිධ හමුදාවේ දායකත්වය අවශ්‍ය වෙනවා නම් රටක් ලෙස අප ඊට මැදිහත්විය යුතුයි.
අපේ ආරක්ෂක හමුදාව එදා මාලි රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමට දායක වුණා. ඒ වැඩ කටයුත්ත අනෙක් අය අගය කළා. අද රතු මුහුදේ සිදුවන සිදුවීම්වලින් අපේ ආර්ථික අයිතිවාසිකම්වලට හානියක් සිදු වෙනවා නම් එය ආරක්ෂා කර ගැනීමටත් අප කැපවී සිටිනවා. ඒ නිසා කලාපයේ සාමයට සහ ලෝක සාමයට ප්‍රශ්නයක් තිබෙනවා නම් එවැනි අවස්ථාවන්වල එක්සත් ජාතීන්ගේ සංවිධානයට අවශ්‍ය සහාය ලබාදීමට අප කටයුතු කරනවා. ඒ නිසා ලෝක සාමය සහ ස්ථාවරභාවයත් අපේ රටේ සාමයත් ස්ථාවරභාවයත් ආරක්ෂා කරගත යුතුයි.
ත්‍රිවිධ හමුදාව ඊළඟ දශකය තුළ විශාල පරිවර්තනයකට ලක් වෙනවා. අද ලෝකය සිටින්නේ තාක්ෂණ යුගයකයි. අද හමුදා ක්‍රියාත්මක වන්නේ තාක්ෂණය පදනම් කරගෙනයි. අපිත් එම තත්ත්වයට ක්‍රමානුකූලව පැමිණිය යුතුයි. ඔබට එම වගකීම තිබෙනවා. මෙම සියලු කටයුතු සමඟ ඔබ ශක්තිමත් හමුදාවක් ලෙස ඉදිරියට යා යුතු බව මම ප්‍රකාශ කරනවා.’
ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් (විශ්‍රාමික) ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපති කොමදෝරු තුෂාර වීරරත්න යන මහත්වරු ඇතුළු හමුදා ප්‍රධානීහු සහ ගුවන් හමුදා සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.