Thursday, May 15, 2025
Home » මෙරට ප්‍රථම වනජීවී දුම්රිය උමං මාර්ගය ඉදිකිරීමට පරිසර සංවිධාන දුන් දායකත්වය අගය කරනවා – ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන

මෙරට ප්‍රථම වනජීවී දුම්රිය උමං මාර්ගය ඉදිකිරීමට පරිසර සංවිධාන දුන් දායකත්වය අගය කරනවා – ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන

by sachintha
March 4, 2024 1:02 am 0 comment

ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පරිසර සංවිධාන නියෝජිතයින් සමග සාකච්ඡා කරමින්

මෙරට ප්‍රථම වන ජීවී දුම්රිය උමං මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා සියලූම පරිසර සංවිධාන දුන් දායකත්වය බෙහෙවින් අගය කළ යුතු බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

වන අලි දුම්රියේ ගැටී සිදු වන අනතුරු අවම කිරීමේ ජාතික ක්‍රියාන්විතයේ පළමු පියවර වශයෙන් මෙරට ප්‍රථම වරට දුම්රිය මාර්ගයට යටින් ඉදිකරන වන ජීවී උමං මාර්ගයේ ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගල්ගමුව-ගැටදිවුල-කාසිකොටේදී ආරම්භ කෙරිණි.

ඇමැතිවරයාගේ උපදෙස් පරිදි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, සුරකිමු ලංකා ජාතික ව්‍යාපාරය ඇතුළු ආයතන සහ සංවිධාන සමඟ පැවති සාකච්ඡා කිහිපයකින් අනතුරුව වන අලින් මේ දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේදී අනතුරට පත්වීම වැළැක්වීමට මේ විශේෂ පියවර ගෙන තිබේ. මේ අවස්ථාවේදී අදහස් දැක්වූ ඇමැතිවරයා වන අලින් දුම්රියේ ගැටී සිදු වන අනතුරු වැළැක්වීමට මාස හයක පමණ කාලයක් පුරා විෂයභාර ඇමැතිවරයා, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු සියලු පාර්ශ්වයන්හි නිලධාරීන් සමඟ සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්විණි.

එහිදී මේ ගැටලුව විසඳීම සම්බන්ධ දිගු කාලීන, මැදි කාලීන සහ කෙටි කාලීන විසඳුම් රාශියක් ඉදිරිපත් විය. එහිදී සුරකිමු ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියන් ඇතුළු පරිසර සංවිධාන නියෝජිතයන් දෛනිකව අලි ඇතුන් විශාල පිරිසක් දුම්රිය මාර්ගය හරහා ගමන් කරන සහ අනතුරු රාශියක් සිදුවන ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇති ගල්ගමුව ප්‍රදේශයේ වන ජීවී උමං මාර්ගයක් ඉදි කිරීම ඉතාමත් ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් බව පෙන්වා දෙන ලදී.

එහිදී මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු සිදු වන ව්‍යාපෘතිය යටතේම රුපියල් ලක්ෂ 658ක පමණ අමතර වියදමක් දරමින් මේ උමං මාර්ගය ඉදිකිරීමට ඉදිකිරීම් භාර සියයට 100ක්ම ඉන්දීය රජය සතු සමාගමක් වන ඉර්කෝන් සමාගම ඉදිරිපත්වී තිබේ. මෙහි සැලසුම් සකස් කිරීම ඇතුළු කටයුතුවලට මධ්‍යම ඉංජිනේරු කාර්යාංශය (cecb) නොමිලේ සිය දායකත්වය දී තිබේ. එමෙන්ම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයට අභිනවයෙන් පත්කර ඇති ලේකම්වරයා ක්ෂේත්‍රයේ මනා පළපුරුද්දක් සහිත ඉංජිනේරුවරයකු වීම හේතුවෙන් මේ ව්‍යාපෘතිය ඉතාමත් කෙටි කාලයක් තුළ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබී ඇත.

ඒ අනුව දෙස් විදෙස් පරිසර හිතකාමීන්ගේ විශාල අවධානයක් මේ ව්‍යාපෘතිය වෙත යොමුවී තිබේ. මේ වන විටත් එම ස්ථානයෙන් දිනපතා වන අලින් දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීම නැරඹීමට විශාල පිරිසක් එම ප්‍රදේශය වෙත පැමිණීමට හුරුවී තිබේ.

මෙහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“මේ සියලු කරුණු පිළිබඳව සලකා බැලීමේදී ගල්ගමුව වන අලින්ගෙන් ජනතාව හිරිහැරයට පත්වන ප්‍රදේශයක් නොව පරිසර හිතකාමී සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමෙන් ප්‍රදේශවාසී ජනතාවට ද විශාල ආදායමක් උපයා ගනිමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවා ගැනීමට හැකි තිරසර සංවර්ධනයක් ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ඒ වෙනුවෙන් මෙරට සිටින ගහකොළට, සතා සීපාවන්ට, ඇළට දොළට, ආදරය කරන දෙස් විදෙස් පරිසර හිතකාමීන්ට සහ පාරිසරික සංචාරක ප්‍රවර්ධකයන්ට අප හා එක්ව අත්වැල් බැඳ ගන්නා ලෙස ආරාධනා කරනවා. ඇල්ල දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ඇල්ල සංචාරක කලාපයක් ලෙස ප්‍රවර්ධනය වූවා සේම වග දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් සීතාවක සංචාරක කලාපයක් ලෙස ප්‍රවර්ධනය වූවා සේම, ගල්ගමුව දුම්රිය ස්ථානය කේන්ද්‍ර කරගනිමින් මේ ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට ජනාධිපතිවරයාගේ සහ සංචාරක ප්‍රවර්ධන අමාත්‍යාංශයේත්, වන ජීවී අමාත්‍යාංශයේත් අවධානය යොමු කිරීමට අප කඩිනමින් පියවර ගන්නවා. මේ කටයුතු සියල්ල ක්‍රියාත්මක කිරීමට සහ සාර්ථක කරගැනීමට විශේෂයෙන්ම පරිසරවේදීන්ගේ දායකත්වය ඉතාමත් අගය කොට සලකනවා. මේ උත්සවයේ ද සම්පූර්ණ සංවිධාන කටයුතු පරිසර සංවිධාන විසින් එක්ව සිදු කරනු ලැබීම ඉතාමත් අගය කළ යුතු කාර්යයක්.”

ජාතික සංඝ සම්මේලනයේ ලේකම් කට්ටකඩුවේ සුමනරතන නාහිමි, සුරකිමු ශ්‍රී ලංකා පදනමේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියන් ඇතුළු මහා සංඝරත්නය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යූ. කේ. සුමිත් උඩුකුඹුර, ඉෂාක් රහුමාන්, දුම්රිය සාමාන්‍යාධිකාරී එච්. එම්. කේ. ඩබ්. බණ්ඩාර මහත්වරුන්, ඉදිකිරීම් භාර ඉන්දීය ඉර්කොන් සමාගමේ නියෝජිතයන්, CECB ආයතනයේ ප්‍රධානීන් ඇතුළු නිලධාරීහු ද, සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සාමාජිකයෝ ද, පරිසර සංවිධාන නියෝජිතයෝ ද, අඹන්පොල ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද, මේ අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT