Thursday, May 15, 2025
Home » රොනීත් එක්ක වැඩ කර ලද අත්දැකීම් දේශපාලනයේදී මට පන්නරයක් වුණා හිටපු මුදල් ඇමැති රොනී ද මැල් මහතාගේ අවමඟුල් උත්සවය අමතමින් ජනපති පවසයි

රොනීත් එක්ක වැඩ කර ලද අත්දැකීම් දේශපාලනයේදී මට පන්නරයක් වුණා හිටපු මුදල් ඇමැති රොනී ද මැල් මහතාගේ අවමඟුල් උත්සවය අමතමින් ජනපති පවසයි

by sachintha
March 4, 2024 1:03 am 0 comment

කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම විශිෂ්ට ආර්ථික විශේෂඥයකුද වූ හිටපු මුදල් ඇමැති රොනී ද මැල් මහතා සමඟ කටයුතු කර ලැබූ අත්දැකීම් අද දවසේ තම දේශපාලන කටයුතුවලට පන්නරයක් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. නිවැරදි තීරණ ගැනීම සහ ඒවා කඩිනමින් ක්‍රියාත්මක කර ප්‍රතිඵල අත් කරගැනීම රොනී ද මැල් මහතාගේ චරිතයේ සුවිශේෂ ලක්ෂණයක් වූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා රට තුළ වෙනසක් කළ දේශපාලනඥයකු වූ එතුමා රටට කළ සේවය කිසිදා අමතක කළ නොහැකි බව ද අවධාරණය කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ රුහුණු විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පසුගියදා (1) පැවති රොනී ද මැල් මහතාගේ අවමංගල්‍ය උත්සවයට එක් වෙමිනි.

රොනී ද මැල් මහතාගේ අවසන් කැමැත්තට අනුව රුහුණ විශ්වවිද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේ තැන්පත් කර තිබූ දේහය අවමංගල්‍ය රථ පෙරහරකින් විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයට රැගෙන ඒමෙන් අනතුරුව අවමංගල්‍ය සභාවේ කටයුතු ආරම්භ විය. රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා අවමංල්‍ය සභාවේ පිළිගැනීමේ කථාව සිදු කළේය. දෙවිනුවර පරම විචිත්‍රාරාම විහාරාධිපති දෙවිනුවර සිරි සුනන්ද නාහිමියන් ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව රුහුණ විශ්වවිද්‍යාලයේ හිටපු නියෝජ්‍ය උපකුලපති, වැලිගම අග්‍රබෝධි විහාරාධිපති මහාචාර්ය මිදිගම ශ්‍රී සෝරත මාහිමි, කෝට්ටගොඩ සුදර්ශන බිම්බ මහා විහාරාධිපති ගොඩැල්ලේවෙල රතනානන්ද අධිකරණ සංඝනායක හිමි සහ ශාස්ත්‍රපති පණ්ඩිත කරතොට පඤ්ඤාසීල නාහිමි පැවිදි අනුශාසනා සිදු කළහ.

අවමංගල්‍ය සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය:

“රොනී ද මැල් මහතා දිනක් මට කතා කර එතුමා මුණගැසෙන ලෙස දන්වා සිටියා. අප ටිකක් කතාබහ කළ පසු එතුමා මට කිවුවා ‘රනිල්, මගේ මරණයෙන් පසුව ඔබත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාත් පැමිණ අවමංගල්‍ය සභාව ඇමතීමට අවශ්‍යයි’ කියලා. ඒ අනුව අද අප දෙදෙනාම මේ කටයුත්තට සහභාගිව සිටිනවා.

“රොනී ද මැල් මහතා මා හොදින් හඳුනාගත්තේ එතුමා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වීමෙන් පසුවයි. ඊට පෙර මා කුඩා කාලයේ එතුමා මුණගැසී තිබුණා. පසුව 1970දී එතුමා පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. පසුව ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ආණ්ඩුවේ එතුමා කටයුතු කළා. මටත් ඒ සමඟ වැඩ කිරීමට අවස්ථාව ලැබුණා. මේ කාලයේ රොනී ද මැල් මහතාගේ දක්ෂතාව මා හොඳින් දුටුවා. එතුමා එක්සත් ජාතික පක්ෂය මේ ප්‍රදේශවල ජයග්‍රහණය කරවීමට විශාල සේවාවක් ඉටු කළා. එදා එක්සත් ජාතික පක්ෂය සමඟ විශාල රැල්ලක් ඇති වී තිබුණා. එහෙත් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ප්‍රකාශ කළා ‘රැල්ලක් තිබෙනවා කියලා හිතන්න එපා, අප මැතිවරණය ජයග්‍රහණය කළ යුතුයි’ කියලා. එවිට රොනී ද මැල් මහතා ප්‍රකාශ කළා ‘මම ඔබතුමාට ජනතා විමුක්ති පෙරමුණේ ඡන්දත් අරගෙන දෙන්නම්’ කියලා. එතුමා විටින් විට බන්ධනාගාරයට ගොස් රෝහණ විජේවීර මහතා මුණගැසී තිබුණා. අවසානයේ ‘ඒ සියලු දෙනා අපට ඡන්දය දෙනවා නම් විජේවීර මහතා බන්ධනාගාරයෙන් නිදහස් කරමු’ කියා එතුමා යෝජනාවක් ගෙනාවා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඊට එකඟ වුණා. ඒ අනුව දෙපාර්ශ්වයේම වගකීම ඉටු වූ නිසා එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රී ධුර විශාල ප්‍රමාණයක් හිමි කරගත්තා.

“රොනී ද මැල් මහතා සමඟ මට තවදුරටත් සමීපව වැඩකටයුතු කිරීමට අවස්ථාව ලැබුණේ පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසුවයි. එතුමා ඉතා දක්ෂව කටයුතු කළා. මෙරට ආර්ථිකය විවෘත කිරීමේ වැඩපිළිවෙළ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා භාර දුන්නේ රොනී ද මැල් මහතාටයි. එතුමාට එය භාර දුන්නේ ජූලි මාසයේ. ඔක්තෝබර්, සැප්තැම්බර් වන විට ඒ වැඩකටයුතු සියල්ල එතුමා අවසන් කර තිබුණා. කිසිම වැඩකට එතුමා වැඩි කාලයක් ගත්තේ නැහැ. කිරීමට අවශ්‍ය සියලු දේ එකවර නිම කළා. ඒ ආදර්ශය මමත් එතුමාගෙන් ගත්තා. මේ අවස්ථාවේත් මම කටයුතු කරන්නේ ඒ ආකාරයටයි.

“1983 සමයේදී ඇතැම් අය හිතුවා රටේ ආර්ථිකයකය කඩාවැටෙයි කියලා. ඒත් ඒ කාලයේ අසීරුවෙන් හෝ රටේ ආර්ථිකය ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යෑමට රොනී ද මැල් මැතිතුමාට හැකියාව ලැබුණා. එතුමා නොසිටියා නම් මේ දියුණුව රට තුළ ඇති වෙන්නේ නැහැ. ඔහුගේ අදහස් සහ ප්‍රශ්නයක් දෙස බැලූ ආකාරය වගේම එහිදී කටයුතු කළ ආකාරය අනුව ඔහු ඒ ආණ්ඩුවේ සිටි දක්ෂයකු බවට සියලු දෙනා පිළිගත්තා. ආර්ථික ප්‍රශ්න වගේම අනෙකුත් ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට ඔහුට හැකියාව තිබුණා. විශේෂයෙන්ම ඉන්දු ලංකා ගිවිසුම සකස් කරන විට ඔහු ඒ සඳහා සහාය දුන්නා.

“එවන් විශිෂ්ට පුද්ගලයකුට තමයි අද අප මේ අවසන් ගෞරව දක්වන්නේ. ඒ වගේම ඔහුගේ බිරිය වූ මල්ලිකා ද මැල් මහත්මිය එතුමාගේ සාර්ථකත්වය පිටුපස සිටි බවත් මෙහිදී සඳහන් කළ යුතුයි. රොනී ද මැල් මහතා සමඟ සන්ධ්‍යාවක නිදහසේ සාකච්ඡා කිරීමෙන් දේශපාලනය, ආර්ථිකය, සංස්කෘතිය, සාහිත්‍යය, භාෂාව පිළිබඳ විශාල දැනුමක් ලැබිය හැකියි. ඔහුට එතරම් පුළුල් අත්දැකීම් සම්භාරයක් තිබුණා. එවන් පුද්ගලයකු දේශපාලනය තුළ සිටීම විශාල ශක්තියක් බවට පත් වුණා.

“ඒ වගේම රොනී ද මැල් මහතාගෙන් මා කරුණු ගණනාවක් ඉගෙනගත්තා. ඒ අත්දැකීම් අද දවසේද මට පන්නරයක්ව තිබෙනවා. අවසාන කාලයේ ඔහු විශ්‍රාමිකයෙකු ලෙස අප සමඟ සාකච්ඡා කරමින් රටේ කටයුතුවලට සම්බන්ධ වුණා. ඔහුගේ අහිමි වීම අප සියලු දෙනාට පාඩුවක් බව සඳහන් කළ යුතුයි. රොනී ද මැල් මහතා මේ රටට කළ සේවාව අප අමතක නොකළ යුතුයි. ඔහු මේ රටට වෙනසක් කළ දේශපාලනඥයෙක්.

“ඒ වගේම මේ රුහුණ විශ්වවිද්‍යාල ඇති කිරීමට ඔහු මහත් සේ කැප වී කටයුතු කළා. රොනී ද මැල් මහතා නොසිටියා නම් අද මෙවන් විශ්වවිද්‍යාලයක් මේ ස්ථානයේ නොතිබෙන බව කිව යුතුයි. අවසානයේ ඔහුට අවශ්‍ය වුණේ රුහුණ විශ්වවිද්‍යාලයේ නිර්මාතෘවරයා ලෙස අවසන් ගමන් යෑමටයි. රටේ ආර්ථිකය දියුණු කළත් රට වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කළත් ඔහුට අවශ්‍ය වුණේ මේ රුහුණු විශ්වවිද්‍යාලය දියුණු කළ පුද්ගලයා ලෙස ඉතිහාසයට එක් වීමටයි. මේ අවස්ථාවේ රොනී ද මැල් මහතාට මගේ අවසන් ගෞරවය දක්වමින් ඔහුට නිවන් සැප ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පවුලේ සියලු දෙනාට මගේ කනගාටුව ප්‍රකාශ කරනවා.”

ඔහු ලංකා පාර්ලිමේන්තුවේ දක්ෂතම විවාදකරුවෙක් – අගමැති දිනේෂ් ගුණවර්ධන

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා:

“රොනී ද මැල් මහතාගේ ජීවිත කාලය තුළ මේ රටට මෙන්ම ජනතාවට සිදු කළ මෙහෙය අපමණයි. ඔහු ලංකා පාර්ලිමේන්තුවේ දක්ෂතම විවාදකරුවෙක්. විදේශීය විවිධ පාලන තන්ත්‍රවල ගැඹුරු දැනුමක්ද තිබුණා. ඒ වගේම ඔහු මෙරට රාජ්‍ය සේවයට සුවිශේෂ මෙහෙවරක් ඉටු කළා. විශේෂයෙන් ගොවි ජනතාව වෙනුවෙන් තවමත් නොවෙනස්ව පවතින කුඹුරු පනත ගෙන ඒමට සහභාගි වුණා. විවෘත ආර්ථිකය තුළ සමුපකාර ක්‍රමය ගම තුළ ආරක්ෂා කිරීමටද දායකත්වයක් දුන්නා. ඔහු තම ධනය ශාසනයට පරිත්‍යාග කළා කළා. ඔහු දේශපාලනඥයන්ට පමණක් නොව මුළු රටටම ආදර්ශයක්.”

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ශෝක පණිවිඩය ඇමැති කංචන විජේසේකර මහතා විසින් අවමංගල්‍ය සභාවට ඉදිරිපත් කරනු ලැබීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කථානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහත්වරුද අවමංගල්‍ය සභාව ඇමතූහ.

මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික නායකයන්, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක තුෂාර විජේසූරිය මහත්වරුන් ප්‍රමුඛ පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයෝ රැසක් ද, රොනී ද මැල් මහතාගේ පවුලේ ඥාතීන්, රුහුණ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරුන්, සිසු සිසුවියන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ගන්දර සමූහ – ජයසිරි පේදුරුආරච්චි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT