සෙල්වරාණී අතේ තිබූ කුඩු පැකට් විසි කර කුණු ඇළට පැන සිටි අයුරු.
හොරයින් මත්කුඩු තොගයක් සන්තකයේ තබාගෙන සිටිය දී පොලිසියට හසු වූ කදිරානවත්තේ අන්නමලේ සෙල්වරාණී සැනෙකින් නිවසින් පිටතට පලා ගොස් සඟවාගෙන සිටි තවත් මත්කුඩු සමඟ කුණු ඇළට පැන පොලිසියට විරෝධය දැක්වූ බව මට්ටක්කුලිය පොලිසිය කියයි.
සැකකාරිය සන්තකයේ තිබී රුපියල් ලක්ෂ පහකට අධික වටිනා මත්කුඩු ග්‍රෑම් 12ක් පොලිස් භාරයට ගෙන ඇත. මට්ටක්කුලිය පොලිසියට අනුයුක්ත පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට යුක්තියේ මෙහෙයුමට සමඟාමීව ලද තොරතුරකට අනුව සැකකාරියගේ නිවස වටලා පොලිස් කාන්තාවක් ලවා සැකකාරිය පරික්ෂා කිරීමේ දී තන පටය තුළ සඟවාගෙන තිබූ මත්කුඩු සොයාගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
පොලිස් කාන්තාව තවදුරටත් සැකකාරිය පරික්ෂා කිරීමට සූදානම් වීමේ දී ක්ෂණයකින් මුළුතැන් ගෙයි දෙසින් පොලිස් නිලධාරීන් අතරින් පලා ගිය සැකකාරිය කුණු ඇළට පැන තම සන්තකයේ තිබූ මත්කුඩු විසිකළ බව පවසමින් පොලිස් නිලධාරීන්ට සිය විරෝධය පළ කරමින් විනාඩි දහයකට ආසන්න කාලයක් ඇළ තුළ ඒ මේ අත ඇවිදිමින් සිට ගොඩ ආ බව පොලිසිය සඳහන් කරයි.
අනතුරුව තවත් අමතර පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගෙන්වා සැකකාරිය දැඩි වෙහෙසක් දරා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව පොලිස් නිලධාරියකු පැවැසීය. 45 හැවිරිදි සැකකාරිය මීට පෙර අවස්ථා ගණනාවක දී මත්ද්‍රව්‍ය සමඟ පොලිස් අත්අඩංගුවට පත් වූ තැනැත්තියක් බව පොලිසිය කියයි.
මට්ටක්කුලිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ කරුණාරත්න මහතාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී ජී එස් ආර් සංජීව පොලිස් කොස්තාපල්වරුන් වන 102049 ජයවීර 1020149 ඉලංගසිංහ 91057 ලක්ෂාන්, කාන්තා පොලිස් කොස්තාපල් 13602 ඒකනායක මහත්ම මහත්මීහු පරීක්ෂණ පවත්වති.
බණ්ඩාරගම – බිමල් ජයසිංහ