Thursday, May 15, 2025
Home » මැදවච්චියෙන් රටටම සත්ව ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථානයක්

මැදවච්චියෙන් රටටම සත්ව ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථානයක්

by chanaka
March 4, 2024 11:44 am 0 comment

ඉතිහාසයේ ප්‍රථම වතාවට මැදවච්චියෙන් සාර්ථක වූ නව ව්‍යවසායකයෙකු බිහි කිරීමට හැකි වූ බවත් ඒ අනුව මෙරට බිත්තර නිෂ්පාදනය කඩා වැටී තිබෙන අවදියක, බිත්තර නිෂ්පාදනය සඳහා මහගු දායකත්වයක් මෙයින් ලැබෙන බවත් මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් එම්. සී මලවිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේය.

55000 ට ආසන්න ජන සංඛාවක් ජීවත් වන මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ විවිධ ව්‍යාපෘති හරහා ව්‍යවසායකයින් බිහිකිරීම එවක සිට පැවැතුණි. නමුත් එය උපන්ගෙයිම මිය ගිය අවස්ථා හැර සාර්ථක වූ ස්ථානයක් අපට හමු වී නොමැත. එවන් වකවානුවක මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් එම්. සී මලවිආරච්චි මහත්මියගේ සෘජු අධීක්ෂණයෙන් මැදවච්චිය සමෘද්ධි බැංකු පද්ධතිය හා ඵලදායිතා අංශය එක්ව මෙම ගංගා කුමාරි නෝයා නැමැති ව්‍යාවසායකයා නගා සිටූවීම සිදු කළේය.

ඒ අනුව තුලාන අංක 78 කනදරාව වසමේ “සත්ව ආහාර සැකසුම් හා නිෂ්පාදන මධ්‍යස්ථානයක්” අද (04) උදෑසන මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් එම්.සී මලවිආරච්චි මහත්මියගේ ආරාධනාවකට අනුව අනුරාධුපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ද්‍යා අබේසේකර මහත්මියගේ හා දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂක සුගත් නයනානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් වීවෘත කෙරුණි. එම අවස්තාවේ මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් එම්. සී මලවිආරච්චි මහත්මිය එසේ ප්‍රකාශ කළේය.

මෙම මධ්‍යෂ්ථානය හරහා අනුරාධපුර දිස්ත්‍රිකය පුරාවට ප්‍රථම අදියර ලෙස සත්ව ආහාර මෙන්ම සත්ව නිෂ්පාදන සහ බිත්තර පහසු මිලට බෙදා හැරීමටත් දෙවන අධියර ලෙස දිවයින පුරාවට මෙම නිෂ්පාදන බෙදා හැරීමේ ප්‍රධාන මධ්‍යෂ්ථානයක් බවට පරිවර්ථනය කිරීමටත් සැලසුම් කර ඇති බව ද එහිදී ප්‍රාදේශීය ලේකම් එම්.සී මලවිආරච්චි මහත්මිය වැඩිදුරටත් පැවැසීය.

මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පලදායිතා අංශය විසින් මෙය සංවිධානය කර තිබුණි. එම අංශයේ මැදිහත් වීම මත හා වැවිගම් පුබුදුව ව්‍යාපෘතියේ මැදිහත්වීමෙන් මෙම මධ්‍යාෂ්ථානය ඉදි කරීම සඳහා එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ ජපන් පරිපූරික අයවැය ආධාර ව්‍යාපෘතිය හරහා මේ සදහා රුපියල් මිලියන 03 ක් ලබා දී තිබුණි.

මෙම අවස්ථාවට අනුරාධුපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ද්‍යා අබේසේකර මහත්මිය, දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂක සුගත් නයනානන්ද මහතා, මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් එම්.සී මලවිආරච්චි මහත්මිය, එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ ක්ෂේත්‍ර සම්බන්ධීකාරක ආචාර්ය ගීතිකා විජේසුන්දර මහත්මිය ඇතුලු නිලධාරින් රැසක් සහභාගි වූහ.

මැදවච්චය – සජිත් ගයාන් උබේපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT