රාජකීය ලංකා ගුවන් හමුදාව නමින් 1951 වසරේ මාර්තු මස 02 දා මෙරට ස්ථාපිත කළ ගුවන් හමුදාව 1972 වසරේ දී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලෙස පාර්ලිමේන්තු ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාගත විය. එදා සිට මේ දක්වා ශ්‍රී ලංකාව තුළ කීර්තිමත් හමුදාවක් වශයෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර තිබෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙම මාර්තු මස 02දා සිය 73 වැනි සංවත්සරය සමරන ලදි. එබැවින් මේ දක්වා ගුවන් හමුදාව පැමිණි ගමන් මඟ, එහි ක්‍රියාකාරිත්වය, රටේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ලබා දෙන දායකත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සමඟ දිනමිණ කළ සංවාදයකි මේ.
පෞද්ගලික විශ්වවිද්‍යාලවලටත් සහාය දෙන්න කටයුතු කරනවා
සමාජ සංවර්ධනය වගේම සංචාරක ප්රවර්ධනයත් අපට අවශ්‍යයි
ගුවන් හමුදාවට බැඳුණු කෙනකුට හොඳ අනාගතයක් තිබෙනවා
ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ වසරේ දී සිය 73 වැනි සංවත්සරය සැමරුවා. ගුවන් හමුදාව මෙතෙක් පැමිණි ගමන් මඟ පිළිබඳව කුමක් කිව හැකිද ?
ශ්‍රී ලංකා ගුවන් හමුදාව වසර 73 ක ඉතිහාසයේ පැමිණි ගමන් මඟ පිළිබඳව ඉතාම සතුටු වෙනවා. රාජකීය ගුවන් හමුදාව ලෙස පටන් ගත්ත ගුවන් හමුදාව නිලධාරීන් හයදෙනෙක් සහ සෙසු නිලයන් 24 දෙනෙක් මුල්ම කණ්ඩායමට අයත් වෙනවා. කුඩා ආයතනයක් ලෙස පටන් ගත්තා. 1972 වසරේ දී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමත් සමඟ ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට පත්වුණා. නමුත්, අපේ කාර්යභාරය වෙනස් වුණේ නැහැ. අද වන විට අපේ ශාඛාවන් 20ක් පමණ තිබෙනවා. ඊට අමතරව වෘත්තීන් 73 ක් පමණ තිබෙනවා. අපේ හැම අංශයක්ම වෘත්තීය මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. නමුත්, අද වනවිට අපේ පිරිස් බලය 35,000 ක් දක්වා වැඩිකොට නැවතත් 26,000 ක් බවට පත්ව තිබෙනවා. 2009 වසරේ දී යුද ගැටුම් අවසන් වන විට 35,000 ක් පමණ සිටියා. යුද්ධය අවසන් වූවායින් පසුව ගුවන් හමුදාව වැදගත් ක්‍රියාමාර්ගයක් අනුගමනය කළා.
හමුදාවක් වශයෙන් ගත් විට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විශේෂ කුසලතාවන් ප්‍රදර්ශනය කර තිබෙනවා. රාජ්‍ය අංශයේ ආයතන අතර, ජාතික ඵලදායීතා සම්මාන, තත්ත්ව සම්මාන වසර කිහිපයක් දිනාගෙන තිබෙනවා. ඒ වගේම අපි ලෝකයේ අනෙකුත් ගුවන් හමුදාවන් සමඟ පුහුණු සැසි පවත්වනවා. තාක්ෂණික හමුදාවක් මෙන්ම ගුවන් හමුදාවේ නඩත්තුව වෙනුවෙන් විශාල මුදලක් වැය වෙනවා. ගුවන් හමුදාව නිසි පරිදි නඩත්තු කිරීම වෙනුවෙන් අපි මේ වන විට යම් යම් ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරය 02 දාට යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වුණු වැඩසටහන් මොනවාද ?
අධ්‍යාපනික සහ සමාජ සත්කාරක වැඩසටහන් සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් 73 වැනි සැමරුම උත්කර්ෂවත් ලෙස සැමරුවා. මාර්තු මස 02 දාට යෙදුණු ගුවන් හමුදා දිනය යාපනය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. තාක්ෂණික ඥානය ලබාදීම මෙන්ම ගුවන් හමුදාව සම්බන්ධයෙන් නිවැරදි ප්‍රතිරූපයක් නිර්මාණය කිරීමත් මෙමඟින් බලාපොරොත්තු වුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත්කර තිබෙන තිරසර සංවර්ධන ඉලක්කවලට සමගාමීව අපේ කාර්යයන් පෙළගැස්සුවා. ගුවන් හමුදා දිනයට සමගාමීව අධ්‍යාපනික හා සමාජ සත්කාරක වැඩසටහන් රැසක් ද පැවැත්වූවා. මෙම වැඩසටහන් වෙනුවෙන් රුපියල් මිලියන 125 කට අධික මුදලක් වැය කර තිබෙනවා. මෙම සමාජ සත්කාරක වැඩසටහන් මාලාව ‘මිත්‍රත්වයේ පියාපත්’ නමින් නම්කර තිබුණු අතර මීට පෙර වර්ෂවල ගුවන් හමුදා දිනය කොළඹට සීමා වුවද මෙවර උතුර දකුණ යා කරමින් යාපනයට රැගෙන ඒමට අපි තීරණය කළා. මෙම වැඩසටහන් සඳහා විශාල මුදලක් ඇස්තමේන්තු කළත් ඒ කිසිදු මුදලක් රජයෙන් හෝ ගුවන් හමුදාවෙන් වැය නොවුණු බව ද සඳහන් කරන්න කැමැතියි.
මෙහිදී අපි ආගමික වැඩසටහන් සඳහා මුල්තැන ලබාදෙමින් සර්ව ආගමික වැඩසටහන් පැවැත්වූවා. ඒ අතර බෞද්ධ ආගමික වැඩසටහන් කැලණිය, රාජමහා විහාරස්ථානයේ දී පවත්වන්නට කටයුතු කළා. ඊට සමගාමීව අනෙකුත් ආගමික වැඩසටහන් ද පැවැත්වූවා. 02 වැනිදා පෙරවරුවේ ගුවන් හමුදා මූලස්ථානයේ දී ගුවන් හමුදා සංවත්සර දින ආචාර පෙළපාළියත් පැවැත්වූවා. ඉන් පසුව උතුර දකුණ යා කරන සහයෝගීතාවය අරමුණු කෙරෙන ‘මිත්‍රත්වයේ පියාපත්’ වැඩසටහන සඳහා යොමුවුණා. යාපනය, මුත්‍රවේලි ක්‍රීඩාංගණයේ දී මෙම වැඩසටහන් පැවැත්වුණු අතර උතුරේ සහෘදයින් සහ යුද හමුදාව, නාවික හමුදාව සහ පොලිසිය ඇතුළුව රාජ්‍ය අංශයේ ආයතන විශාල ප්‍රමාණයක් මේ සඳහා සහාය ලබාදුන්නා. ඒ සඳහා ව්‍යාපෘති රැසක් ද එක්තු වුණා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව රුපියල් මිලියන 100 ක මුදලින් යාපනය, මුලතිව්, මන්නාරම, වවුනියාව සහ කිළිනොච්චි දිස්ත්‍රික්කයන් හි පාසල් 73 ක් තෝරාගෙන සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ‘මගෙන් පොතක් උතුරට’ වැඩසටහන යටතේ දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන් පොත් 73,000 ක් උතුරේ පාසල් සඳහා බෙදාදීමත්, ඒ සඳහා රුපියල් මිලියන 25 ක් වෙන් කිරීම, පරිසරය සුරැකීම අරමුණු කරගෙන උතුරේ ප්‍රදේශයන්ට ගැළපෙන ලෙස පැළ 73,000 ක් සිටුවීමත්, එම වැඩසටහන් අතර වුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදා සංවත්සරයක විශේෂම අංගයක් තමයි ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය කියන්නෙ. මෙවර අපි පාපැදි සවාරිය 25 වැනි වතාවට තමයි පැවැත්වූයේ. මාර්තු 03 වැනිදා ආරම්භ කළ තරගය මාර්තු 07 වැනිදා අවසන් කරනවා. පසුගිය කාලවලදී මේ තරඟය පැවැත්වුණේ දවස් තුනක තරගයක් ලෙසයි. නමුත් මෙවර දවස් පහක පාපැදි තරගයක් විදියට පවත්වනවා. පිරිමි තරඟය සඳහා 100 ට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. කාන්තා පාපැදි තරගය සඳහා 40 ක් 50 ක් පමණ සම්බන්ධ වෙයි කියා සිතනවා.
ගෝල්ෆේස් පිටියෙන් (ජනාධිපති කාර්යාලය) ආරම්භ කරලා මහනුවර, හබරණ, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, වවුනියාව හරහා දින පහකට පසුව අපි ළඟා වෙනවා යාපනය දිස්ත්‍රික්කය වෙත. පිරිමි පාපැදි සවාරියේ දුර කිලෝමීටර් 700 ක් පමණ වෙනවා. කාන්තා පාපැදි සවාරිය කිලෝමීටර් 100 ක් පමණ දුරට පැවැත් වෙනවා. ඒ අතරමැද පොලොන්නරුව, ත්‍රිකුණාමලය, වවුනියාව සහ යාපනය යන ස්ථානවලදී සංගීත ප්‍රසංග ද පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ වගේම දිස්ත්‍රික්ක හතරක් එකතු කරලා අපි පවත්වනවා ‘ගුවන් හමුදාපති අභියෝගතා මිත්‍රත්ව පාපන්දු කුසලාන තරඟාවලිය’. උතුරේ වැඩි පිරිසක් කැමතියි පාපන්දු ක්‍රීඩාවට. ඒක දැනට කරගෙන යනවා. 06 දා යාපනයේ දොරෙයප්පා ක්‍රීඩාංගණයේ දී අවසාන මහා තරගය පැවැත් වෙනවා. ක්‍රීඩා සමාජ 11 මේ සඳහා සහභාගී වෙනවා. එමෙන්ම යාපනයේ එයාර් ටැටූ 2024 නමින් අධ්‍යාපනික හා තාක්ෂණික ප්‍රදර්ශනයක් මුත්‍රවේලි ක්‍රීඩාංගණයේ දී පැවැත් වෙනවා. පාසල්, අධ්‍යාපන ආයතන සහ විශ්වවිද්‍යාලවලට අපි ආරාධනා කර තිබෙනවා.
ඒ වගේම යාපනය විශ්වවිද්‍යාලයට අපි ගුවන් යානා ගෑස් ටර්බයින් එන්ජිමක් ලබාදෙන්නත් බලාපොරොත්තු වෙනවා. සාම්ප්‍රදායික පෙළපාළි පවත්වනවා. සියලුම කඳවුරුවල ක්‍රීඩා තරග පැවැත්වෙනවා. පළාතට අදාළ සමාජ සත්කාරක කටයුතු ද සිදුවෙනවා. වෛද්‍ය සායන, ලේ දන්දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.
2009 වර්ෂයට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඝෘජුව යුද මෙහෙයුම් සඳහා දායකත්වය ලබාදුන්නා. එයින් පසුව මේ වන විට ගුවන් හමුදාව රටේ සංවර්ධනය වෙනුවෙන් දායක වන්නේ කෙසේද?
සියලුම හමුදාවන්වල අවසන් ඉලක්කය තමයි ස්ථිරසාර සාමය. එතැනට යාමෙන් පසුව අපි ඇතිවුණු සාමය ස්ථාපිත කරන්න ලොකු වැඩකොටසක් කරනවා. ඒ වෙනුවෙන් අපි පසුගිය කාලයේ උතුරේ ප්රතිසන්ධාන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළා. රටේ ආර්ථික හා සමාජ සංවර්ධනය වෙනුවෙන් අපි අපේ ශක්තිය ලබාදෙනවා. ජනතාව දැනුවත් කිරීමේ සහ අධ්‍යාපනික ඥානය උසස් කිරීමට ද අපි දායක වෙනවා. අපිට බෙදීමක් තුළින් ඉදිරියට යන්න බැහැ. ඒ නිසා අපි සියලු ජාතීන් සමඟියෙන් එකමුතුව කටයුතු කළ යුතු වෙනවා. ඒ තුළින් සමාජ සංවර්ධනයක් ඇතිකර ගන්නත් පුළුවන් වෙනවා. අභ්‍යන්තර සාමය පවත්වාගෙන යාම වෙනුවෙන් අපි රජයට සහාය ලබා දෙනවා. අපි ආයතන විශාල සංඛ්‍යාවක් සමඟ එක්ව කටයුතු කරනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා මූලිකව සංචාරකයන් එහා මෙහා ගෙනයන්න ලබාදෙන්න කටයුතු කරනවා.
අපි එක්සත් ජාතීන්ගේ වැඩසටහන් හරහා ද රටට යම්කිසි ආදායමක් උපයා ගන්න බලාපොරොත්තු වෙනවා. පාසල්, විශ්වවිද්‍යාල හා තාක්ෂණ ආයතන සඳහා ගුවන් ක්ෂේත්රය වෙනුවෙන් සහාය ලබාදෙනවා. අපි යාපනය විශ්වවිද්‍යාලයට ජෙට් යානා එන්ජිමක් ලබාදෙන්න සැලසුම් කර තිබෙනවා. මොරටුව විශ්වවිද්‍යාලයට ගුවන් යානයක් සහ නැගෙනහිර විශ්වවිද්‍යාලයට ගුවන් යානා එන්ජිමක් ලබා දෙනවා. පෞද්ගලික විශ්වවිද්‍යාලවලටත් අපි අපේ සහාය ලබා දෙන්න කටයුතු කරනවා. ප්‍රධාන වශයෙන් අපි අපේ අහස් තලය ආරක්ෂා කරන්න කැපවෙනවා. ඊට අමතරව රටේ දියුණුව වෙනුවෙන් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරමින් අභ්‍යන්තර ගුවන් සේවා කටයුතු පුළුල් කිරීම සඳහා ගෙන තිබෙන ක්‍රියාමාර්ග මොනවාද ?
හෙලිටුවර්ස් ආයතනය තවමත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. එය ගුවන් හමුදාවට අනුබද්ධිත මහා භාණ්ඩාගාරයේ අධීක්ෂණය යටතේ පාලනය වන පුද්ගලික සංවිධානයක්. එහි ප්‍රධාන අංශ තුනක් තිබෙනවා. ලංකාවේ ළමුන්ට උසස් පෙළ විභාගයෙන් පසුව ගුවන් යානා කාර්මික ශිල්පීන් වීමට අවශ්‍ය දැනුම ලබාදෙන පාසලක්. එය ඒකල පිහිටුවා තිබෙනවා. එයින් පුහුණුව ලැබූවන් විවිධ රටවලට යනවා. වසරකට ළමුන් 20 ක් 25 ක් පමණ බඳවා ගන්නවා. ඊට අමතරව හෙලිටුවර්ස් ටිකටින් ආයතනයක් තිබෙනවා. ඒකත් එක් අංශයක්. සංචාරකයන් සඳහා යොදා ගත හැකි පරිදි ගුවන් යානා යොදා ගන්නවා. එය දැනට ඉහළ මට්ටමේ නැහැ. නමුත් අපි ඒ තැනට එනවා. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව සහ මෙරට සංචාරක වැඩසටහන් ක්‍රියාත්මක වන ආකාරය අනුව මගීන් 30 ක් පමණ ගුවන් යානා අවශ්‍ය වෙනවා. නමුත් දැන් 15 ක් 20 ක් පමණ යන්න පුළුවන් ගුවන් යානා අපිට තිබෙනවා. පෞද්ගලික සමාගම් සමඟ එක්ව මේ කාර්යය ඉදිරියට ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. සමාජ සංවර්ධනය සහ සංචාරක ප්‍රවර්ධනය අපිට අවශ්‍යයි. අපේ ඉංජිනේරු සේවාවන් පෞද්ගලික අංශයට අවශ්‍ය අවස්ථාවල ලබාදෙනවා. ගුවන් හමුදාවට බැඳුණු කෙනෙකුට හොඳ අනාගතයක් තිබෙනවා. වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ එක්ව NVQ 4 සහතිකය පිරිනමන පාඨමාලා අපි පවත්වනවා.
ගුවන් හමුදාවේ අනාගත සැලසුම් මොනවා ද?
ගුවන් හමුදාවේ පළමු කාර්යය තමයි අපේ පොළොවට ඉහළින් ඇති අහස් තලය ආරක්ෂා කිරීම. කාලයාගේ ඇවෑමෙන් එය සපයන ආකාරය වෙනස් වී තිබෙනවා. රටක් ලෙස ගුවන් තලයට වෙන රටකින් එන තර්ජන දෙස බැලුවා. දැන් මුළු ලෝකයම වෙනස් වෙලා. අද ඩ්‍රෝන තාක්ෂණය තිබෙනවා. නියමුවන් රහිත ගුවන් යානාවලින් එල්ලවන තර්ජන සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. ගුවන් තලය ආරක්ෂා කිරීම වැදගත් තැනක තිබෙනවා. එය අපේ ප්‍රධාන අංගයක්.
මහින්ද අලුත්ගෙදර
ඡායාරූපය – වාසිත පටබැඳිගේ