වසර 14කට පසුව හුංගම බටඅත කෘෂි තාක්ෂණික උද්‍යානයේ නීත්‍යානුකුල අයිතිය ඊයේ (03) කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පවරනු ලැබීය.
මෙම උද්‍යානය මෙතෙක් අයත්ව තිබුනේ මහවැලි අධිකාරියටය. අවස්ථා කිහිපයක දීම මෙම උද්‍යානය පිළිබඳ අයිතිය කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා ගැනීමට කටයුතු කළ ද එය ඉටු කර ගැනීමට නොහැකි විය. නමුත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ඉල්ලීමක් පරිදි හා සිදු කළ සාකච්ඡා අනුව බටඅත කෘෂි තාක්ෂණික උද්‍යානයේ නීත්‍යානුකූල අයිතිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පැවරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් පියවර ගෙන තිබේ.
මීට අදාල ඔප්පුව කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂිකා ආචාර්ය සාමන්ති වාසල මහත්මියට බාර දෙනු ලැබීය. එම අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා බටඅත කෘෂි තාක්ෂණික උද්‍යානය ඉදිරි කාලය තුළ කෘෂි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට හා සංචාරක ආකර්ශණයට හේතුවන අන්තර්ජාතික කෘෂි තාක්ෂණික උද්‍යානයක් මෙන්ම කෘෂි- සංචාරක මධ්‍යස්ථානයක් (Agro- Tourism Centre) දක්වා නවීකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
එමෙන්ම දේශීය ගොවි ජනතාවට නව කෘෂි තාක්ෂණික දැනුම ලබා දීමට හා ඔවුන් පුහුණු කිරීමට ද අදාල පහසුකම් මෙම උද්‍යානය තුළ ඉදි කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම ඔප්පුව බාරදීම බටඅත AgriTech -24 කෘෂිතාක්ෂණික ප්‍රදර්ශණ භූමියේ දී සිදු කරනු ලැබිය.