කිළිනොච්චිය පුනරීන් මුහුදේදී බෝට්ටු දෙකක් එකිනෙකට ගැටී පුද්ගලයන් 9 දෙනකු පසුගියදා (2) සවස තුවාල ලබා තිබේ.
පුනරීන් පලයතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට යමින් සිටි බැතිමතුන් රැගත් බෝට්ටු දෙකක් අධික වේගයෙන් ගමන් කිරීම හේතුවෙන් මෙසේ එකිනෙක ගැටී ඇත. බෝට්ටු දෙක ගැටීමෙන් පසුව බෝට්ටු දෙකේම සිටි පුද්ගලයන්ගෙන් හතර දෙනකු මුහුදට අද වැටී ඇති අතර, සෙසු පිරිස විසින් ඔවුන්ව බේරා ගනු ලැබ තිබිණ. තුවාල ලබා ඇත්තේ බෝට්ටු දෙක ගැටෙන විට බෝට්ටුවේ කොටස්වල හිස හා අත් පා වැදීමෙනි. අනතුරට පත් බෝට්ටු දෙකම මගීන් ප්‍රවාහනය කෙරෙන බෝට්ටු නොවන අතර, කිළිනොච්චියේ ධීවරයන්ට අයත් ධීවර බෝට්ටු දෙකක් බව පුනරීන් පොලිසිය ප්‍රකාශ කළේය.
දේවස්ථානයේ මංගල්‍යයට සහභාගී වීම පිණිස බෝට්ටු අයත් පවුල් දෙකේ හිතවතුන් පිරිසක් එම බෝට්ටුවලින් දේවස්ථානය වෙත යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. තුවාලකරුවන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර, පුනරීන් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
උතුරු පළාත් විශේෂ
රසුල දිල්හාර ගමගේ