Home » පෝක් සමුද්‍ර සන්ධිය හරහා අඩුම කාලයකින් පිහිනා ත්‍රි/මලේ සිසුවකුගෙන් ලෝක වාර්තාවක්

පෝක් සමුද්‍ර සන්ධිය හරහා අඩුම කාලයකින් පිහිනා ත්‍රි/මලේ සිසුවකුගෙන් ලෝක වාර්තාවක්

- කිලෝමීටර් 31.5ක් පැය නවයහමාරකින් පිහිනලා

by sachintha
March 4, 2024 2:28 am 0 comment

අඩුම කාලයක් තුළ පෝක් සමුද්‍ර සංධිය හරහා පිහිනා ලෝක වාර්තාවක් තැබීමට ත්‍රිකුණාමලය රාම ක්‍රිෂ්ණ මිෂන් කෝණේස්වරා හින්දු විද්‍යාලයේ සිසුවකු ඉකුත් මාර්තු 01 දා සමත් විය.

එම විදුහලේ අට වසරේ ඉගෙනුම ලබන 13 හැවිරිදි හරිහරන් ධන්වන්ත් නමැති සිසුවා මෙම ලෝක වාර්තාව තබා තිබේ. ඉන්දියාවේ ධනුස්කොඩි සිට පෝක් සමුද්‍ර සංධිය හරහා තලෙයිමන්නාරමට කිලෝමීටර් 31.5ක් අඩුම කාලයක් වන පැය 9යි විනාඩි 32යි තත්පර 54 කාලයක් තුළ පිහිනා මෙම වාර්තාව තබා තිබේ. මීට පෙර තිබූ ලෝක වාර්තාව බිඳ දමමින් මෙම වාර්තාව තැබූ ළාබාලතම සිසුවා ලෙස ද ධන්වන්ත් සිසුවා ලෝක වාර්තා ඉතිහාසයේ නව පිටුවක් පෙරළීම ද විශේෂත්වයකි. කලින් තබා තිබූ වාර්තාව හා නව වාර්තාව අතර කාලය විනාඩියකි.

බෝට්ටුවකින් ධනුස්කොඩි වරායට ගිය මෙම සිසුවා ඉකුත් මාර්තු 01 දා අලුයම 4:15ට සිය ගමන ආරම්භ කර පස්වරු 1.47 යි තත්පර 54 කින් මෙම ගමන අවසන් කළේය. වාර්තාව තැබූ සිසුවා පිළිගැනීමට හින්දු විදුහලේ විදුහල්පති එන්. පරමේෂ්වරන් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය හා හිටපු විදුහල්පතිවරු තලෙයිමන්නාරම් වෙරළට පැමිණ සිටියහ. මෙම සිසුවාගේ පුහුණුකරු වූ දැනට පෝක් සමුද්‍ර සංධිය හරහා එගොඩ මෙගොඩ පිහිනා ලෝක වාර්තාවක් තබා ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්‍රල් රොෂාන් අබේසුන්දර මහතා ද මෙම සිසුවාට ධෛර්යයක් හා ආරක්ෂාවක් ලබා දෙමින් සිසුවා සමඟ පිහිනමින් අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.

මෙහිදි අදහස් දැක්වූ පුහුණුකරු කෝප්‍රල් රොෂාන් අබේසුන්දර මහතා පැවැසුවේ මෙම සිසුවා තමන්ට හමුවී ඉතා කෙටි කලක් තුළ පුහුණුවීම් සිදු කළ බවයි. සිසුවා මූලික පුහුණුව ලබාගෙන තිබුණේ ත්‍රිකුණාමලය පොලිස් ජීවිතාරක්ෂක ඒකකය මඟින් බව කී පුහුණුකරු තමන් ත්‍රිකුණාමලයට ගොස් මෙම කටයුතු සිදු කිරීමට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ලබා දුන් සහාය ද අමතක නොකරය බව කීය.

මෙම ලෝක වාර්තාව බෝට්ටු ආධාරයෙන් අධීක්ෂණය කරනු ලැබුවේ ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ ප්‍රධාන විනිසුරු ධනංජය ද සිල්වා මහතා ඇතුළු විනිසුරුවරු හය දෙනකු විසිනි.

ත්‍රිකුණාමලය විශේෂ – ඒ.⁣ටී.එම්. ගුණානන්ද

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT