Thursday, May 15, 2025
Home » ගැසට්ටුවට යන බිත්තරවල උපරිම සිල්ලර මිල මේ සතියේ දී

ගැසට්ටුවට යන බිත්තරවල උපරිම සිල්ලර මිල මේ සතියේ දී

by chanaka
March 5, 2024 4:22 pm 0 comment

Eggs

බිත්තර සදහා උපරිම සිල්ලර මිලක් පැනවීමේ ගැසට්ටුව පළ කිරීමට අදාල මිල ගණන් ඇතුළත් යෝජනාව මෙම සතිය තුළ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඉදිරිපත් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය අද (05) තීරණය කරනු ලැබීය.

මේ වනවිට වෙළෙදපළේ බිත්තර මිල ගණන් ඉහළයාම සම්බන්ධව සමාලෝචන සාකච්ඡාවක් අද දින පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විනි. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා, රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශණ සිල්වා මහතා, අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා ඇතුළු පශු සම්පත් සංවර්ධන අංශයේ නිලධාරිහු ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා වන පිරිවැය රුපියල් 30ක් පමණ වන බවත්, අද දිනය තුළ මෙරට බිත්තර නිෂ්පාදනය බිත්තර මිලියන 5.8ක් බවත්, දෛනික බිත්තර පාරිභෝජන අවශ්‍යතාවය බිත්තර මිලියන 7.5ක් බවත් මෙහිදී අවධාරණය විය.

දැනට ලේයර් මව්සතුන් 130,000ක් සිටින අතර අවශ්‍යතාවය 80,000ක් වේ. අවශ්‍යතාවටත් වඩා මව්සතුන් සිටියදී පැටව් හා බිත්තර නිෂ්පාදනය ඉහළ නොයාමට හේතුව සොයා බලන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය.

පසුගිය සතියේ සමාලෝචන රැස්වීමේ දී සාකච්ඡා කළ පරිදි බිත්තර මිල ඉදිරි උත්සව සමයේ ඉහළයාම පාලනය සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට අදාලව උපරිම සිල්ලර මිල තීරණය කිරීම සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට හා පශු සම්පත් සංවර්ධන අංශයට පවරනු ලැබීය. ඉදිරිපත් කරන්නැයි අමාත්‍යවරයා අදාල බලධාරින්ට නියෝග කළේය.

ඒ අනුව බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමේ ගැසට්ටුව පළ කිරීම සඳහා වන යෝජනාව මෙම සතිය තුළ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට යොමුකිරීමට අද දින පැවැති සාකච්ඡාවේ දී තීරණය කරනු ලැබීය.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා බිත්තරයක නිෂ්පාදන මිල රුපියල් 30ක් නම් වෙළෙදපළේ අලෙවි කරන බිත්තරයක මිල රුපියල් 60ක් දක්වා ඉහළ මට්ටමක පැවැතීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බව කීය. එමනිසා බිත්තර සඳහා පනවන උපරිම සිල්ලර මිල බිත්තර නිෂ්පාදකයා , පාරිභොගිකයා මෙන්ම සිල්ලර වෙළෙන්දා ද ආරක්ෂා වන පරිදි පැනවිය යුතු යැයි සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT