Thursday, May 15, 2025
Home » අන්ත­ර්ජාල කවි සඟ­රා­වෙන් ඇහිලූ කවි

අන්ත­ර්ජාල කවි සඟ­රා­වෙන් ඇහිලූ කවි

by sachintha
March 5, 2024 1:16 am 0 comment

‘ලන්ඩන් කවි’ කෘතිය 7දා සවස 3ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී එළිදැක්වීමට නියමිතය. මේ ලිපිය ඒ නිමිත්තෙනි

ඇයයි හඬයි

කෝ. ආනන්ද – පැරීසිය

හඬක හඬකි මහ අරුමෙකි සුමිතුරු ඒ හඬ

හැඩකි හැඩකි සප්ත ස්වර මුව’ග රඳන හඬ

උඩකි උඩකි ගායනයෙහි උඩඟු ලියන් හඬ

වැඩකි වැඩකි ජීවනයෙහි පවන හඬන හඬ

ආචාර්ය නන්දා මාලිනිය හා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වෙනුවෙන් ලියැවුණු කවි කලඹක්, කලාවේ තවත් බහුචරිතධාරියකු වන නීතීඥ අනුර හෑගොඩ විසින් ‘ලන්ඩන් කවි’ කෘතිය 7දා සවස 3ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී එළිදැක්වීමට නියමිතය. අපි කලෙකට පසුව මෙරටට පැමිණි ඔහුත් සමඟ දැන් වැඩිදුරටත් ඒ ගැන කතා කරමු.

අපි දෙමසක් තුළදී ආචාර්ය නන්දා මාලිනිය හා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගැන ලියූ කවි එකතු කළා. මුද්‍රණයෙන් එළිදැක්වූ එය, මෙවරත් ‘ලන්ඩන් කවි’ යටතේ එළිදැක්වීමට නියමිතයි. ලන්ඩන් කවි සංග්‍රහය ගැන හඳුන්වා දෙනවා නම් එය, දිගු කලක සිටම පවත්වාගෙන එන ලද්දක්. ඒත්, පසුව කලක් එය මුද්‍රණය කෙරුණේ නැහැ. ඒත්, 2021 සිට www.londonkavi.com විදියට අන්තර්ජාල සඟරාවක් වශයෙන් පවත්වාගෙන එනවා. එතැන් පටන් අඛණ්ඩව හැම මසකම පළමුවැනිදා මේ කවි එකතුව එළිදකිනවා. ඒ ඊට පසුදින මධ්‍යම රාත්‍රියේදීයි. මේ අන්තර්ජාල කවි සඟරාවට බොහෝ විට කවි සියයක් පමණ අන්තර්ගත වෙනවා. ජ්‍යෙෂ්ඨ, ආධුනික බේදයක් නැතිව කවීන් කවුරුත් නිර්මාණ එවනවා. ඒ, සමහරු ජීවිතයේ පළමු කවිය ලියන අය. ඉතින් කාටත් මේ කවි සඟරාව විවෘතයි. ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, අයිස්ලන්තය, ඩුබායි, මැදපෙරදිග ආදී ලෝකය පුරා විහිදී පැතිරී සිටින ශ්‍රී ලාංකේය කවීන්ට එකම අවකාශයක කවි ලියන්නට ලැබීම මෙහි සුවිශේෂත්වයක්.

කිසිම තරාතිරමක් නෑ. මහාචාර්යවරු, දොස්තරවරු, කලාකරුවන් ආදී හැමෝගෙම කවි එහි වෙනවා. ඉතින්, ඉකුත් වසරේ ජුනි මාසයේදී මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වෙනුවෙන් කලාපයක් වෙන් කළා. ඊට කවි සියයකට ආසන්න ගණනක් ඇතුළත් කෙරුණා. ඉන් පසුව නැවත ආචාර්ය නන්දා මාලිනී කලාපය කළා. ඒ වෙනුවෙනුත් කවි සියයක් පමණ ලැබුණා. මේ දෙදෙනා වෙනුවෙන්ම ලියැවුණු කවි දෙසියයක පමණ එකතුවක් තමයි ලබන බ්‍රහස්පතින්දා එළිදකින්නේ.

මේ කවි අතින්. ඔබ තවත් කලාවේ පැතිරුණු කෙනෙක්. ඒ ගැනත් පැවසුවහොත් ?

අලුතින් වෙන දෙයක් නැති තරම්. ඒත්, විවිධ දිනපතා හා සති අන්ත පුවත්පත් වෙනුවෙන් මම කොලම් ලිව්වා. වසර ගණනාවක් එකම පුවත්පතට ලියූ කොලම්වලට පාඨකයන්ගෙන් හොඳ ප්‍රතිචාර තිබුණා. ඒත්, දැන් ඉඩහසර ඇති විදියට කවියත් එක්කම ඉන්නවා වුණත් අනෙක් කටයුතුවලට කැප කරන්නට හුඟක් වේලාව අඩුයි. එකල, මං ‘රෝමය ගිනිගනී’ නාට්‍ය නිෂ්පාදනයට පෙලඹුණා. ඒ හැරෙන්නට පරාක්‍රම නිරිඇල්ලගේ ‘විල්බැඳි දනව්ව’, රොඩ්නි විදානපතිරණගේ ‘හේමන්තයේ වසන්තයක්’ ආදිය වෙනවා. පාසල් කාලයේදී සයිමන් නවගත්තේගමගේ පුස්ලෝඩං, ගංගාවක් සහ සපත්තු කබලක්, ආදි නාට්‍යවල වේදිකා පරිපාලන කාර්යයට එකතු වෙන්නත් මට අවස්ථාව ලැබුණා. අනෙක, පත්තරවලට ලියූ කොලම් එකතු කර තවත් කෘති කිහිපයක් එළිදැක්වුවා. ඉතින්, ඒ හැරෙන්නට, අගනුවර තරුණ කවි සමාජයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරනවා.

ඔබ එතෙර සිට බොහෝ කලා කටයුතු කරන කෙනෙක්?

ලන්ඩන් කවි සංග්‍රහය කරනවා හැරෙන්නට එරටදීම කවි සන්ධ්‍යාවන් පවත්වනවා. ඉතින්, නිශ්ශංක දිද්දෙනිය කවි සැදෑව, මහාචාර්ය සුනිල් ආර්යරත්න ගී සදෑව ආදිය පවත්වන්නට ඉඩ ලැබුණා. එරට තරුණ පරපුරෙන් ප්‍රතිචාර ඉහළයි. වෛද්‍යවරු, ඉංජිනේරුවරු, කලාකරුවන් ආදී විවිධ වෘත්තීන්වල, තරාතිරම්වල ජනතාව එකම වේදිකාවකදී අපි එකට එකතු වෙනවා. ඒක ලොකු අත්දැකීමක්.

මෙරට නූතන කවිය ගැනත් යමක් කිවුවොත්?

ඉතා ඉහළ නිර්මාණ එළිදකිනවා. පුද්ගලිකව මං සදැස් කවියට වඩා කිට්ටුයි. හොඳ කවි එළිදකිනවා. කාව්‍ය ගුණයෙන් අනූන ඒ අතර මහින්ද කුමාර මස්ඉඹුල, නුවන් තොටවත්ත ආදී තරුණ කවීනුත් රැසක්ම සිටිනවා. රුවන් බන්දුජීව, කෞශල්‍යා ජයලත්, ආරියවංශ රණවීර, ලාල් හෑගොඩ, රත්න ශ්‍රී අදටත් කවිකරණ ප්‍රවීණයන්. ඒවායේ අගය අනූනයි. මං ඒ මිහිර විඳින කෙනෙක්.

ඔබේ ගීත රචනා රැසක්ම වෙනවා?

ගීත 12ක් පටිගත කර තියෙනවා. ලබන 7දා එයින් තවත් ආචාර්ය නන්දා මාලිනිය ගැයූ අලුත්ම ගීත දෙකක් එළිදක්වන්නත් අපේක්ෂා කරනවා. අමරසිරි පීරිස්, විශාරද, එඩ්වඩ් ජයකොඩි, මීනා ප්‍රසාදිනී, මහාචාර්ය කෝලිත භානු, නාලක අංජන කුමාර ආදීන්ගේ ගීත රැසක් වෙනවා.

ඔබේම තවත් වැඩකුත් කෙරෙනවා?

එදිනෙදා සමාජ දේශපාලනය වගේම, නිර්මාණ කියනවා. නීතිඥවරයකු විදියට නීතිමය දැනුම බෙදා දීමට කටයුතු කරනවා.

අපි නැවත උළෙලට හැරෙමු.

ලන්ඩන් කවි කෘතිය එළිදැක්වීමේ උලෙළදී දෙසුමෙන් මහින්ද ප්‍රසාද් මස්ඉඹුලත් මෙහෙයුමෙන් කැළුම් ශ්‍රීමාල් වගේම, හිටිවන කවි දෙබස් ගැයුමෙන් එල්ලාවල ආනන්ද ගුණතිලක, කඩවත තේජා ගම්මන ආදීන් එකතු වෙනවා. එදිනට සහභාගි වන්නැයි කලාකාමීන්ට විවෘතව ආරාධනා කරනවා.

නුවන් මහේෂ් ජයවික්‍රම

ඔබයි අප ලොව සත්සරය

ඉංජිනේරු, කිවිපති, අජන්ත සෙනෙවිරත්න

රන්දා අම රසය ගැයුනී

– නැඟෙයි පන්හිඳ නැණසරය

වින්දා සිරිලකම එ මිණි

– නඟයි දෙසවන අනුනදය

කැන්දා කිතුගොසය තුටිනි

– නිවෙයි අසමින මන නදය

නන්දා මාලිනී මවුනි

-ඔබයි අප ලොව සත්සරය

…………………………………………………

සත්‍යය ගයන්නී

විශාරද, එඩ්වඩ් ජයකොඩි

සත්‍යය ගයන්නී

හදවත පාමිනිය

හෙළ දන මන දිනූ

ගී මන්දාකිනිය

තවමත් කිරුළ බිම

නො තැබූ රාජිනිය

ලොවටම එකයි – ඈ

නන්දා මාලිනිය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT