Thursday, May 15, 2025
Home » චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය ඇරඹෙයි

චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය ඇරඹෙයි

by chanaka
March 5, 2024 4:17 pm 0 comment

චීනයේ රාජ්‍ය පාලනය පිළිබඳ ඉහළම බල ආයතනය වන චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය ඇරඹේ. ඒ, බෙයිජිං අගනුවර පිහිටි මහ ශාලාවේ දී යි.

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරය අද (5) පෙරවරුවේ ආරම්භ විය. චීන කොමියුනිස්ට් පක්ෂ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං ඇතුළු පක්ෂයේ හා රජයේ නායකයන් මෙන්ම ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතයන් 3000 ක පමණ පිරිසක් සමාරම්භක උත්සවයට එක්වූහ.

චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං සැසිවාරය වෙත රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කරමින් පැවසුවේ, 2023 වසරේ රටේ ප්‍රධාන ආර්ථික හා සමාජ සංවර්ධන ඉලක්ක පූර්ණ ලෙස සාක්ෂාත් කිරීමට චීනය සමත් වූ බවයි. 2024 වසරේ රටේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකමේ 5% ක වර්ධනයක් අපේක්ෂා කරන බව ද අගමැතිවරයා එහිදී පැවසීය.

නව වසරේ චීනය පෙරට වඩා දැඩි අධිෂ්ඨානයකින් හා ශක්තියකින් ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ක්‍රියාත්මක කරන අතර, නවීන තාක්ෂණය වැඩිදියුණු කරමින් ජනතා දිවිපැවැත්ම සහතික කිරීමට ද පියවර ගන්නා බව රාජ්‍ය කාර්ය වාර්තාවේ සඳහන් වේ. රාජ්‍ය සහ රාජ්‍ය නොවන ව්‍යවසායන් මෙන්ම විදේශ ආයෝජන ව්‍යවසායන් දිරිගන්වමින් ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීමට ද පියවර ගැනෙනු ඇත.

නවීන තාක්ෂණය සහිත කාර්මික පද්ධතිය ගොඩනැංවීමට ද ඉහළ අවධානයක් යොමුකෙරෙන බව ද එහි සඳහන් ය. චීනය තවදුරටත් සාමකාමී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ද, හිංසනයට හා අධිපතිවාදයට එරෙහි වන බව ද රාජ්‍ය කාර්ය වාර්තාව කියයි.

චීන ජාතික මහජන කොංග්‍රසය, චීනයේ රාජ්‍ය පාලනය පිළිබඳ ඉහළම ආයතනයයි. වසර පහක ධුර කාලයක් සහිත ජාතික මහජන කොංග්‍රසය වාර්ෂිකව පූර්ණ රැස්වීමක් පවත්වනු ලබන අතර, එහිදී ප්‍රධාන ජාතික ප්‍රතිපත්ති, නීති සහ කාර්ය මණ්ඩල පත්කිරීම් ඇතුළු කරුණු සාකච්ඡා කර තීරණයන්ට එළඹීම සිදු වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT