Thursday, May 15, 2025
Home » දියේ ගිලුණු පේරාදෙණිය සිසුවා මියයයි

දියේ ගිලුණු පේරාදෙණිය සිසුවා මියයයි

by sachintha
March 5, 2024 1:48 am 0 comment

නාවලපිටිය රෝහලේ සායනික පුහුණු කටයුතුවලට ගොස් සිටිය දී පසුගිය 23 දින මහවැලි ගංඟාවේ ගල්පොත්ත නමැති ස්ථානයේ නෑමට ගොස් දියේ ගිලුණු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ තෙවන වසරේ සිසුවා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (04) දහවල් මියගොස් තිබේ. මියගොස් ඇත්තේ කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි ඉසුරු මදුෂාන් තිලකරත්න නමැති සිසුවෙකි.ඔහු මහනුවර කිංග්ස්වුඩ් විදුහලේ ආදි සිසුවෙකි. මියගිය සිසුවා සමඟ තවත් සිසුන් තිදෙනකු දියේ ගිලී ගසාගෙන ගොස් තිබුණු අතර ඔවුන් මහත් පරිශ්‍රමයක් දරා ජලයෙන් පිටතට පැමිණියත් මෙම සිසුවාට ජලයෙන් ගොඩට පැමිණීමට නොහැකි වී ඇත. ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව මෙහෙයුමක් දියත් කර විනාඩි 20ක පමණ කාලයක් ගඟේ ගිලී සිටි සිසුවා ජලයෙන් පිටතට ගෙන නාවලපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබිණි.

පසුව නාවලපිටියේ සිට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත රැගෙන එන ලද වෛද්‍ය පීඨ සිසුවා එහි දින 10 කට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (04) මියගිය බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති, මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා කීය. වෛද්‍ය පීඨයේ දෙවන වසරේ අවසන් විභාගයට පෙනී සිටි තුන්වන වසරේ අධ්‍යයන කටයුතු සඳහා සූදානමින් සිටි 45 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් සායනික පුහුණුව සඳහා (23) දා පෙරවරුවේ විශ්වවිද්‍යාල බස් රථයකින් නාවලපිටිය රෝහලට ගොස් ඇත. පුහුණුව නිම වීමෙන් පසු සිසුන් 12 දෙනකු පමණ නාවලපිටිය ගල්පොත්ත නමැති ස්ථානයේ දිය නෑමට ගොස් සිටිය දී මෙම අනතුර සිදුව තිබෙන බවත් මධුජිත් මහතා කීය. මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (04) පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබිණි.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT