නිවසේ පදිංචිව සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීමට තණමල්විල ගාමිණිපුර නිවසකට ගිය තණමල්විල පොලිසියේ කොස්තාපල්වරයකු එම නිවසේ සිටි සුනඛයෙකුගේ සපා කෑමට ලක්ව බරපතළ ලෙස තුවාල ලබා රෝහල්ගත කර ඇත. පොලිස් කොස්තාපල් නිශාන්ත (96130) යන නිලධාරියා මෙසේ සුනඛ ප්රහාරයට ලක්ව ඇති බව පොලිසිය කියයි. මෙම පොලිස් නිලධාරියා අදාළ නිවසට ගොස් ඇත්තේ නිවසේ පදිංචිව සිටින පුද්ගලයන් ගැන පොලිස් පොරම 76ට අදාළව තොරතුරු රැස්කර ගැනීමටය. එහි දී නිවසේ ගැටගසා සිටි ජර්මන් ෂපට් වර්ගයේ සුනඛයකු දැම්වැල කඩාගෙන පැමිණ පොලිස් කොස්තාපල්වරයාව බිම පෙරළාගෙන හපාකා ඇති බව පොලිසිය කියයි. පොලිස් නිලධාරියාව තණමල්විල රෝහලට මුලින්ම ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට මාරුකර යවා ඇත.
ගයාන් කුමාර වීරසිංහ