සිය නිවෙස තුළ දී අබිරහස් ලෙස මියගිය කරාපිටිය ශික්ෂණ රෝහලේ විකිරණ අංශයේ සේවය කළ වෛද්‍යවරයාගේ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය කාර්යාලය පවසයි.
මියගිය වෛද්‍යවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය වෛද්‍ය පීඨයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය යූ.සී.පී. පෙරේරා මහතා විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදු කරනු ලැබීය. වෛද්‍යවරයාගේ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකොට දේහය නිදහස් කරනු ලැබීය. මිය ගොස් ඇත්තේ ගාල්ල තලගහහේන පටුමග යන ලිපිනයේ පදිංචි පරණ පල්ලියගුරුගේ ප්‍රභාත් චාමර සම්පත් (38) නමැති එක්දරු පියෙකි. මෙකී වෛද්‍යවරයා ඔහුගේ නිවසේ දී අබිරහස් ලෙස මියගොස් සිටිය දී පොලිසිය විසින් සොයාගෙන ඇත. මෙම වෛද්‍යවරයා එක්දරු පියකු වන අතර ඔහුගේ බිරිඳද කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරියකි. මෙම සිද්ධිය වන අවස්ථාවේ එම වෛද්‍යවරිය නිවසේ සිට නැත. ගාල්ල පොලිසිය මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
දික්වැල්ලේ තිලකරත්න ගාල්ල උතුර සමූහ, හිනිදුම රවීන්ද්‍ර ලියනගේ