Home » මියන්මාර් සයිබර් කඳවුරේ රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික 8ක් මුදා ගැනෙති

මියන්මාර් සයිබර් කඳවුරේ රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික 8ක් මුදා ගැනෙති

by sachintha
March 5, 2024 12:00 am 0 comment

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරේ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් 08 දෙනකු මුදා ගැනීමට හැකිව තිබෙන බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක ප්‍රියන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. එම කඳවුරේ රඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයන් අතරින් 08 දෙනකු මෙලෙස නිදහස් කිරීමට පියවර ගෙන තිබෙන අතර තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන බව පවසා ව්‍යාජ ලෙස සංචාරක වීසා මත මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස තායිලන්ත දේශසීමාව ඔස්සේ පසුගිය 2023 වසරේ දෙසැම්බර් මාසයේදී මියන්මාරයට රැගෙන ගොස් තිබෙන බව ද ඒ මහතා පෙන්වා දෙයි. මියන්මාර් රජයේ මැදිහත්වීම මත මේ ශ්‍රී ලාංකිකයන් පිරිස බේරා ගැනීමට හැකිව තිබෙන අතර ඔවුන් මේ වනවිට මියන්මාරයේ මයවාඩි මධ්‍යම පොලිස් ස්ථානයේ රඳවා සිටින බව ද ඔවුන් ඉතා ඉක්මනින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ශ්‍රී ලංකා තානාපතිවරයා සඳහන් කරයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචියකින් තොරව ඔවුන් මියන්මාරයට ගොස් තිබෙන අතර එහිදී සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයට නතුව මයිවඩ්ඩි නමැති ත්‍රස්තවාදී කඳවුරේ රඳවාගෙන සිටින බව ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියයි.

මියන්මාර ත්‍රස්තවාදීන් යටතේ පාලනය වන සයිබර් අපරාධ කඳවුරේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිස මුදා ගැනීම සඳහා ත්‍රස්තවාදී කණ්ඩායම සමඟ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සාකච්ඡා ආරම්භ කළ අතර එම ත්‍රස්තවාදී කණ්ඩායම සමඟ සාකච්ඡා කිරීමට මියන්මාර ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ එකඟතාවය ලැබීමත් සමඟ අදාළ සාකච්ඡා ආරම්භ කර තිබෙන බව ද මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පවසයි. එම ත්‍රස්තවාදී කණ්ඩායම සමඟ සාකච්ඡා කිරීමට මියන්මාර ස්වදේශ කටයුතු ඇමැතිවරයාගේ එකඟතාවය ලැබීමත් සමඟ අදාළ සාකච්ඡා ආරම්භ කර තිබේ.

මේ අතර ශ්‍රී ලාංකිකයින් පිරිස බේරාදෙන ලෙස ඉල්ලමින් මහානායක හිමිවරුන් සකස් කළ සංදේශයක් මියන්මාර මහානායක හිමියන් වෙත ද යොමුකර තිබෙන අතර අදාළ සංදේශය යොමුකිරීම මඟින් මියන්මාර මහානායක හිමි හරහා මියන්මාර රාජ්‍ය පාලනය මෙම ගැටලුව විසඳීමට මැදිහත් කරගැනීම අපේක්ෂාව වෙයි.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT