Home » ජාජබයේ ලියාපදිංචිය ගැන නාගානන්දගේ නඩුව පවත්වාගෙන යා නොහැකියි – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

ජාජබයේ ලියාපදිංචිය ගැන නාගානන්දගේ නඩුව පවත්වාගෙන යා නොහැකියි – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

by sachintha
March 5, 2024 12:20 am 0 comment

මැතිවරණ කොමිසම විසින් ජාතික ජන බලවේගය ලියාපදිංචි කර ඇති ආකාරය නීති විරෝධී වන බවට පැමිණිලි කරමින් නාගානන්ද කොඩිතුවක්කු මහතා නීතිඥවරයකු ලෙස කටයුතු කරමින් සිටිය දී ගොනුකළ මෝසම සහ ඊට අදාළ නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවට නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (04) දන්වා සිටියේය.

අදාළ මෝසම සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කරමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා මේ බව දන්වා සිටියේය. එස්. තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම මෝසම සහ ඊට අදාළ පෙත්සම කැඳවන ලදී. එහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය පසුගිය පෙබරවාරි මස 29 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය අහෝසි කළ බවය. එසේම මහජන සුබසාධන නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිටීමද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට තහනම් කර ඇති බව ඒ මහතා සඳහන් කළේය. මහජනතාවට වැදගත් වන කරුණක් ලෙස දක්වමින් ඉදිරිපත් කර ඇති මෙම මෝසම සහ ඊට අදාළ පෙත්සම ඒ අනුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවට අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මූලික විරෝධතා ඉදිරිපත් කළේය. එසේම මෙම මෝසම මගින් මැතිවරණ කොමිසම වගඋත්තරකරුවකු ලෙස නම් කර නොමැති බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය. එම කරුණු ඇතුළත් කර මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බැවින් ඒ සඳහා අවසර ලබාදෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. නීතිඥ ආචාර්ය සුනිල් කුරේ මහතා පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේය.

කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල අදාළ මූලික විරෝධතා ගොනු කිරීම සඳහා නීතිපතිවරයාට කල් ලබා දීමට තීරණය කළේය.

අදාළ මෝසම සහ ඊට අදාළ පෙත්සම ඔක්තෝබර් 10 වෙනිදා නැවත කැඳවීමට තීරණය කෙරිණි.

නෙල්කා මැදගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT