වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීම මෙවර මහ කන්නයේදී සිදු නොකළ හෙයින් පෞද්ගලික අංශය වී මිල පාලනය කිරීම අතට ගත් බව හම්බන්තොට ගොවීහු පවසති.
රාජ්‍ය බැංකු මඟින් පෞද්ගලික අංශයට වී මිලදී ගැනීමට ණය මුදල් මුදා හැර එම මුදලින් නිසි සාධාරණ මිලකට වී මිලදී නොගෙන හිතූ හිතූ මිල ගණන් යටතේ වී මිලදී ගැනීම සිදු කළ හෙයින් මහ කන්නයේ වී අස්වනු කුණු කොල්ලයට ගිය බව ඔවුහු පෙන්වා දෙති. වෙනදා වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා බව සඳහන් කරමින් මණ්ඩලයේ ගබඩා විවෘත කර රජයේ මිල ප්‍රදර්ශනය කිරීම සිදු කළ හෙයින් පෞද්ගලික අංශය ද ඊට අනුගත වී මිලක් තීරණය කිරීම සිදු කළ අතර, මෙවර එවන් තත්ත්වයක් ඇති නොවී මණ්ඩලයේ ගබඩා සියල්ල ඉබි යතුරු දමා වසා දැමීම හේතුවෙන් ගොවියාට සාධාරණ මිලකට වී අලවි කර ගැනීමට නොහැකිව තිබේ.
කිරිඳිඔය ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් උපාලි ඇඹගේ මහතා කියා සිටියේ, කිරිඳිඔය ව්‍යාපාරයේ වී අස්වනු නෙළීමට පෙර සිටම වී අලෙවි මණ්ඩලයට ගබඩා විවෘත කරන ලෙසට ඉල්ලා සිටි බවයි. මිල තීරණයක් කරන ලෙසට දන්වා සිටියත් වී අස්වනු නෙළා අවසන් වන තෙක් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූ බවද ඔහු පැවසීය. අමු වී කිලෝවක් රුපිය්ල 80ත් 85ත් අතර මිලකට ගොවියාගෙන් පෞද්ගලික අංශය මිලදී ගත් හෙයින් ගොවියාට මෙවර මහ කන්නයෙන් කිසිම ලාභයක් ලබා ගැනීමට නොහැකි වී ඇති බවත්, ගොවිතැන් සඳහා අධික පිරිවැයක් දැරීමට ගොවියාට සිදුව ඇති හෙයින් ඒ සඳහා රජයේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බවද හෙතෙම කීය.
රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් ශෂී එදිරි සූරිය මහතා අදහස් දක්වමින්, රිදියගම ව්‍යාපාරයේ මහ කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වී ඇති අතර, අක්කරයක ගොයම කැපීමට මැෂිමකට රුපියල් තිස් දහසක් පමණ වැය කළ යුතු බවයි. ඒ අනුව වී කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 100කට වැඩි බවද ඔහු පෙන්වා දුන්නේය. වී කිලෝවක් අඩුම තරමින් රුපිය්ල 130ක්වත් කරන ලෙසත්, හොඳටම ගොවියාට ලාභ ලැබීමට නම් වී කිලෝවක් සඳහා රුපියල් 150ක මිලක් නියම කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් කීය.
ලුණම සමූහ – සනත් ගමගේ