Home » මස් වැද්දෝ හෝමාගම නිදැල්ලේ ගැවසෙන මුවන්ට උගුල් අටවා ඝාතනය කිරීමේ ජාවාරමක

මස් වැද්දෝ හෝමාගම නිදැල්ලේ ගැවසෙන මුවන්ට උගුල් අටවා ඝාතනය කිරීමේ ජාවාරමක

by sachintha
March 5, 2024 3:07 am 0 comment

ඉතා ජනාකීර්ණ ප්‍රදේශයක් වන හෝමාගම උසාවිය පාර ප්‍රදේශය ඇතුළු විශාල ප්‍රදේශයක නිදැල්ලේ ගැවසෙන මුවන්ට උගුල් අටවා ඝාතනය කර මස් පිණිස රැගෙන ගොස් විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව එම ප්‍රදේශයේ ජනතාව පවසති.

හෝමාගම, උසාවිය පාර, විමාන පාර, මනතුංග මාවත, හබරකඩ වත්ත, වෑකන්ද පාර, එපිටවෙල පාර, සාරභූමි පෙදෙස ආදී විශාල ප්‍රදේශයක මෙලෙස මුවෝ රංචු වශයෙන් ගැවසෙන බවත් දළ වශයෙන් දහසකට පමණ ආසන්න මුවන් පිරිසක් මෙම ප්‍රදේශයේ නිදැල්ලේ හැසිරෙන බවද ඔවුහු පවසති.

මෙලෙස මුවන් කොපමණ සිටියත් ප්‍රදේශවාසීන් විසින් එම සතුන්ට කිසිදු හිරිහැරයක් නොකරන මුත් වෙනත් ප්‍රදේශවලින් මෙම ප්‍රදේශයට පැමිණ කුලී රැකියාවල නිරත පිරිස් විසින් අමතර ආදායමක් ලෙස මෙලෙස උගුල් අටවා මුවන් ඝාතනය කර මස් පිණිස විකුණන බවද එම ජනතාව පවසති.

ඒ ආකාරයෙන් ඇටවූ උගුල්වලට හසුවීම නිසා මියගොස් නරක් වූ මුවන් දෙදෙනෙකුගේ සිරුරු (04) දිනයේද දක්නට ලැබුණු අතර එම උගුල්වලට හසු වී ඝාතනයට ලක් වූ සතුන් රැගෙන යාමට නොහැකි වීමෙන් මෙලෙස අතහැර දමා ගොස් ඇති බවත් නරක් වූ සතුන්ගේ දේහයන් නිසාවෙන් ප්‍රදේශයම දැඩි දුගඳක් වහනය වන බවද ඔවුහු පවසති. ප්‍රදේශයේ කිසිවෙකු පදිංචි නොමැති හිස් ඉඩම්වල මුවන් ගමන් ගන්නා මාර්ග සෑදී ඇති තැන්වල මෙලෙස කම්බි යොදා ගනිමින් මද්දක් ලෙස උගුල් අටවා ඇතැයි ද ඔවුහු පවසති. මේ සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසිය, වනජීවී ආයතන ඇතුළු අදාළ බලධාරීන් දැනුවත් කළද මේ සඳහා කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බැවින් දිනෙන් දින මුවන් ඝාතනයට ලක්වන බවද එම ප්‍රදේශයේ ජනතාව පවසති.

එබැවින් මේ පිළිබදව බලධාරීන්ගේ අවධානය යොමු කර මෙම ජාවාරම්කරුවන්ගෙන් මුවන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස ප්‍රදේශයේ ජනතාව ඉල්ලා සිටිති.

මීගොඩ – බී.කේ. කත්‍රිආරච්චි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT