Home » බංග්ලාදේශයට එරෙහි පළමු විස්සයි20න් ශ්‍රී ලංකාවට ලකුණු 3ක තියුණු ජයක්

බංග්ලාදේශයට එරෙහි පළමු විස්සයි20න් ශ්‍රී ලංකාවට ලකුණු 3ක තියුණු ජයක්

by sachintha
March 5, 2024 2:47 am 0 comment

ජාකර් අලිගේ ප්‍රහාරාත්මක ඉනිම අවසන් මොහොතේ නවතී

කුසල්ගෙන් සදීරගෙන් අර්ධ ශතක

සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර ඊයේ බංග්ලාදේශයේ සිලෙට් නුවර පැවැති පළමු විස්සයි20 තරගයෙන් ලකුණු 3ක තියුණු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 20 අවසානයේදී කඩුලු 3කට ලකුණු 206ක් රැස් කළ අතර, බංග්ලාදේශය ඕවර 20 අවසානයේ කඩුලු 8කට ලකුණු 203ක් රැස් කළේය. පළමු ඕවර 10 නිමා වන විට කඩුලු 4කට ලකුණු 74ක් ලබා සිටි බංග්ලාදේශ පිල අවසන් ඕවර 10දී ලකුණු 129ක් රැස් කිරීම කැපී පෙනිණි. බංග්ලාදේශය එක් අවස්ථාවක පන්දු 30කට ලකුණු 68ක් ලබා ගත යුතුව තිබූ අතර, මැදපෙළ පිතිකරු ජාකර් අලි විස්මිත පිතිහරඹයක නිරතවෙමින් සිය කණ්ඩායම ජයග්‍රහණයේ එළිපත්තටම රැගෙන ගියේ පන්දු 34කින් ලකුණු 68ක් රැස් කරමිනි. ඔහුගේ අර්ධ ශතකයට වැයවූයේ පන්දු 25ක් පමණි. ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු අභියෝගයකට ලක් කළ මේ පිතිකරුවාගේ ඉනිමට හයේ පහර 6ක් සහ හතරේ පහර 4ක් ඇතුළත් විය. ශ්‍රී ලංකා පිලේ යොවුන් වේගපන්දු යවන්නා වන මතීෂ පතිරණගේ ඕවර 4දී බංග්ලාදේශ පිතිකරුවෝ ලකුණු 56ක් උදුරා ගත් අතර, ඔහු වැඩිම ප්‍රහාරයට ලක් වුයේ ජාකර් අලි හමුවේය.

අවසන් ඕවරයේදී බංග්ලාදේශයේ ඉලක්කය ලකුණු 12ට අඩු වූ අතර, පළපුරුදු පන්දු යවන්නා වූ දසුන් ශානක පළමු පන්දුවෙන් රෂීඩ් හොසේන් දවා ගත්තේය. අනතුරුව තුන්වැනි පන්දුවෙන් අත්‍යවශ්‍යම කඩුල්ල වූ ජාකර් අලි දවාගැනීම ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ගේ අස්වැසිල්ලට හේතු විය. ජාකර් අලි සමඟ බංග්ලාදේශ ඉනිම පිළිසකර කළ මහ්මුදුල්ලා ලකුණු 54ක් රැස් කළේය. ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන් වයිඩ් පන්දු 14ක් යැවීම කැපී පෙනිණි.කාසියේ දිනූ බංග්ලාදේශ නායක නජ්මුල් ෂැනටෝ පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිලට ඇරියුම් කළ අතර,අවිශ්ක ප්‍රනාන්දු ශ්‍රී ලංකා ඉනිමේ ෂොරිෆුල් ඉස්ලාම් යැවූ පළමු ඕවරයේ පළමු පන්දුවටම හතරේ පහරක් එල්ල කරමින් සාර්ථක ආරම්භයක් ගැනීමට සමත්වූවද, කඩුලු රකින ලිටොන් දාස් වෙත උඩපන්දුවක් දී දෙවැනි පන්දුවෙන් දැවී යෑම ශ්‍රී ලංකා පිලට දැඩි පාඩුවක් විය. අනතුරුව පැමිණි කමිඳු මෙන්ඩිස්ටද වැඩි වේලා පිටියේ රැඳී සිටීමට අවස්ථාව නොලැබිණි. කුසල් සමඟ එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 33ක සම්බන්ධතාවක් ගොඩ නැඟූ කමිඳු ලකුණු 19කට දැවී ගියේ ටස්කින් අහමඩ්ගේ පන්දුවකට සෞම්‍ය සර්කාර් අතට උඩපන්දුවක් ලබා දෙමිනි.

අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ හොඳම සම්බන්ධතාව ගොඩ නැඟුණේ සදීර සමරවික්‍රම පිටියට පිවිසීමෙන් පසුවය. දෙදෙනා එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 96ක අගනා සම්බන්ධතාවක් ගොඩ නැඟූ අතර, මේ පිතිකරුවන් දෙදෙනා ශ්‍රී ලංකා ඉනිම ලකුණු 133 දක්වා ඉහළට ඔසවා තැබුවේ ඕවර 10කුත්, එක් පන්දුවක් ඇතුළතදීය. වේගවත් පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් පන්දු 28කින් සිය අර්ධ ශතකය රැස් කළේ රෂීඩ් හොසේන් යැවූ ශ්‍රී ලංකා ඉනිමේ 12 වැනි ඕවරයේදී පිට පිට හයේ පහර 2ක් එල්ල කරමිනි. එය ඔහුගේ 13 වැනි විස්සයි20 අර්ධ ශතකය ද විය. ශ්‍රී ලංකා ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව ඕවර 14.4කදී ලකුණු 133 දක්වා ඉහළ දැමීමට කදිම දායකත්වයක් ලබා දුන් කුසල් දැවී ගියේ ලකුණු 59ක් ලබා සිටියදීය. ඔහු පන්දු 36කට මුහුණ දුන් අතර, හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් එල්ල කිරීමට සමත් විය. කුසල්ගේ දැවී යෑමෙන් පසු පිටියට පිවිසි නායක චරිත් අසලංක සමඟ එක් වූ සදීර ඕවර 20 අවසන් වන විට ශ්‍රී ලංකා ඉනිම ලකුණු 206කින් ඉහළ දැමීමට සමත් වූයේ නොදැවී ලකුණු 61ක් රැස් කරමිනි. සිය දෙවැනි විස්සයි20 අර්ධ ශතකය වාර්තා කළ සදීරගේ ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහරක් ඇතුළත් වූ අතර, වැය වූයේ පන්දු 48ක් පමණි. අවසන් ඕවර 5දී පිටියට පිවිසි නායක අසලංක වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ අතර, නොදැවී ලකුණු 44ක් රැස් කළේ පන්දු 21කිනි. ඊට හයේ පහර 6ක් ඇතුළත් විය. දෙදෙනා එක්ව සිව්වැනි කඩුල්ලට ගොඩ නැඟූ නොබිඳුණු සම්බන්ධතාව ලකුණු 73කි. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් ඕවර 4දී බංග්ලාදේශ පන්දු යවන්නන්ගෙන් ලකුණු 64ක් උදුරා ගැනීමට මේ දෙදෙනා සමත් වූහ. මුෂ්ටාෆිසුර් රහ්මාන් යැවූ ඉනිමේ අවසන් ඕවරයේදී ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 24ක් රැස් කළහ.

තරගයේ වීරයා සම්මානය චරිත් අසලංකට හිමි විය. දෙපිල අතර දෙවැනි විස්සයි20 තරගය හෙට (6) මේ ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

ශ්‍රී ලංකාව

අවිශ්ක ප්‍රනාන්දු ඇ. දාස් ප. ෂොරිෆුල් 4

කුසල් මෙන්ඩිස් ඇ. මහ්මුදුල්ලා ප. රිෂාඩ් 59

කමිඳු මෙන්ඩිස් ඇ. සර්කාර් ප. ටස්කින් 19

සදීර සමරවික්‍රම නොදැවී 61

චරිත් අසලංක නොදැවී 44

අතිරේක 19

එකතුව කඩුලු 3ක් දැවී (ඕවර 20) 206

කඩුලු බිඳ වැටීම – 1- 4, 2-37, 3-133

පන්දු යැවීම – ෂොරිෆුල් 4-0-47-1, ටස්කින් 4-0-40-1, මෙහෙදි හසන් 3-0-30-0, මුෂ්ටාෆිසුර් 4-0-42-0, රිෂාඩ් 4-0-32-1, සර්කාර් 1-0-8-0

බංග්ලාදේශය

ලිටොන් දාස් ඇ. කුසල් ප. මැතිව්ස් 0

සෞම්‍ය සර්කාර් ඇ.අසලංක ප. බිනුර 12

නජ්මුල් ෂැන්ටෝ ඇ. මැතිව්ස් ප. පතිරණ 20

ටව්හිද් රිඩෝයි ඇ.කුසල් ප. මැතිව්ස් 8

මහ්මුදුල්ලා ඇ.. අවිශ්ක ප. තීක්ෂණ 54

ජාකර් අලි ඇ. අසලංක ප. දසුන් 68

මෙහ්දි හසන් ඇ. මැතිව්ස් ප. බිනුර 16

රිෂාඩ් හොසේන් ඇ. අසලංක ප. දසුන් 0

ටස්කින් අහමඩ් නොදැවී 2

ෂොරිෆුල් ඉස්ලාම් නොදැවී 4

අතිරේක 19

එකතුව කඩුලු 8ක් දැවී (ඕවර 20) 203

කඩුලු බිඳ වැටීම – 1-0, 2-21, 3-30, 4-68, 5-115, 6-180, 7-195, 8-197

පන්දු යැවීම – මැතිව්ස් 3-0-17-2 , බිනුර 4-0-41-2 , තීක්ෂණ 4-0-32-1 , දසුන් 3-0-36-2, අකිල 2-0-19-0 , පතිරණ 4-0-56-1

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT