Home » එක්දින තරගාවලියට පැතුම් සූදානම් දික්වැල්ල සංචිතයට ගියේ නායකයාගේ පුහුණුකරුගේ දැඩි ඉල්ලීම මතයි

එක්දින තරගාවලියට පැතුම් සූදානම් දික්වැල්ල සංචිතයට ගියේ නායකයාගේ පුහුණුකරුගේ දැඩි ඉල්ලීම මතයි

by sachintha
March 5, 2024 1:49 am 0 comment

ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග

ආබාධයකට ලක්ව බංග්ලාදේශ සංචාරයේ විස්සයි 20 තරගාවලියෙන් ඉවතට ගිය පැතුම් නිශ්ශංක මේ 13 වැනිදා ආරම්භවන එක්දින තරගාවලියේදී යළි ශ්‍රී ලංකා පිලට එක්වන බවත්, විස්සයි 20 තරගාවලියට කැඳවූ නිරෝෂන් දික්වැල්ල කලකට පසු සංචිතයට එක් වුයේ නායකයාගේ හා පුහුණුකරුගේ දැඩි ඉල්ලීම මත බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා පැවැසීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී තේරීම් කමිටු සභාපතිවරයා මේ බව පැවැසීය.

දික්වැල්ල සම්බන්ධයෙන් නායකයාගේ හා පුහුණුකරුගේ දැඩි ඉල්ලීම තේරීම් කමිටුව ඒකමතිකව අනුමත කළ බව උපුල් තරංග මහතා සඳහන් කළේය. මෙම මාධ්‍ය හමුවට තේරීම් කමිටු සාමාජිකයින් වන දිල්රුවන් පෙරේරා, අජන්ත මෙන්ඩිස් හා ඉන්දික ද සේරම් යන මහත්වරු එක්ව සිටි අතර, තරංග පරණවිතාන මහතා මේ දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සමඟ බංග්ලාදේශයේ කටයුතු කරමින් සිටී.

පසුගිය කාලයේ ජාත්‍යන්තර තරගවල දැක්වූ දක්ෂතා අවම මට්ටමක තිබියදී හා විනය ගැටළු මතුව තිබියදී නිරෝෂන් දික්වැල්ල කුමන පදනමක් මත තේරීම් කෙරෙහි සලකා බැලුවේද යන්න මාධ්‍යවේදියෙකු තේරීම් කමිටුවෙන් ප්‍රශ්න කළ අතර, දික්වැල්ල සමඟ තේරීම් කමිටුව පෞද්ගලිකව කතා කළේ යැයි උපුල් තරංග මහතා පැවැසීය.

“ක්‍රීඩකයෙකුගේ දක්ෂතා වගේම විනය වැදගත් බව අප පිළිගන්නවා. මේ පිළිබඳව අප ඔහු සමඟ කතා කළා. ඔහුට සියලු දේ පැහැදිලි කළා. අපි බලමු ඔහු කණ්ඩායමට එක්වීමෙන් ලැබෙන ප්‍රතිළුලය කුමක්ද කියලා. ඉදිරි ලෝක කුසලානයට කණ්ඩායම සූදානම් කිරීමේදී ක්‍රීඩකයින්ගේ අත්දැකීම් වැදගත්. දික්වැල්ල වෙනුවට ෂෙවෝන් ඩැනියෙල් හා ලසිත් කෘස්පුල්ලේ යන තරුණ ක්‍රීඩකයින් දෙදෙනා පිළිබඳ අප සාකච්ඡා කළා. නමුත් ඔවුන්ගේ දක්ෂතා පසුගිය දිනවල පහත වැටී තිබුණේ. ඒ දෙදෙනාම දක්ෂ ක්‍රීඩකයින් නිසා සෙමින් ලකුණු අතරට පැමිණීමට ඉඩදීම අපේ බලාපොරොත්තුව වුණා“ උපුල් තරංග මහතා පැවැසීය.

“ලෝක කුසලාන තරගාවලියට තවම කණ්ඩායම නම්කොට නෑ. නමුත් මේ බංග්ලාදේශ සංචාරක කණ්ඩායම තේරීමේදී යම් අදහසක් ගැනීමට වැදගත්. ආබාධ ඇතිවුණ අවස්ථාවලදී අපේ මැද පෙළ තරමක් මදි බව පේනවා. ඒ නිසා හැම වේලාවෙම අමතරව ක්‍රීඩකයින් 20ක් පමණ සූදානමින් තැබිය යුතුයි. දක්ෂතා ඇති ක්‍රීඩකයින්ට අවස්ථාව දෙන්න අපි පසුබට වෙන්නේ නෑ“ තේරීම් කමිටු සභාපතිවරයා පැවැසීය.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT