Thursday, May 15, 2025
Home » සිසුන් දස ලක්ෂයකගේ දිවා ආහාර දීමනාව ඉහළට
එක් වේලක් සඳහා වෙන් කළ රුපියල් 85 රුපියල් 110ට නංවයි

සිසුන් දස ලක්ෂයකගේ දිවා ආහාර දීමනාව ඉහළට

by sachintha
March 6, 2024 1:04 am 0 comment

ප්‍රාථමික අංශයේ පාසල් සිසුන් සඳහා දිනක ආහාර වේලක් වෙනුවෙන් ලබාදෙන මුදල රුපියල් 110ක් දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව මෙතෙක් එම ආහාර වේලක් වෙනුවෙන් රුපියල් 85ක මුදලක් වෙන් කර තිබූ බව කැබිනට් ප්‍රකාශක, විෂය භාර ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (05) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. ඒ අනුව, එක් ආහාර වේලක් වෙනුවෙන් එක් සිසුවකු සඳහා වැය වන මුදල රුපියල් 110/-ක් දක්වා වැඩි කිරීමටත් ප්‍රාථමික අංශයේ සිසුන් සඳහා 2024 වර්ෂය තුළ දින 170ක් සඳහා “පාසල් ආහාර වැඩසටහන” ක්‍රියාත්මක කිරීමටත් අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය. රජයේ පාසල්වල 01 වැනි ශ්‍රේණියේ සිට 05 වැනි ශ්‍රේණිය දක්වා සිසුන්ට පාසල් ආහාර වැඩසටහන නැවත වහාම ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබාදුන් බව ද ඇමැතිවරයා පැවැසීය. සමස්ත පාසල් සිසුන් මිලියන 1.08ක් ආවරණය වන පරිදි දිවයිනේ අධ්‍යාපන කලාප 100ට අයත් පාසල් 7,902ක “පාසල් ආහාර වැඩසටහන” ක්‍රියාත්මක කරනු ලබන අතර, එක් සිසුවකු සඳහා දිනක ආහාර වේලක් වෙනුවෙන් රුපියල් 85ක මුදලක් වෙන් කරන ලදි. වෙළෙඳපොළ තුළ සිදුවන භාණ්ඩ හා සේවාවන්හි මිල උච්ඡාවචනය අනුව එක් ආහාර වේලක් සඳහා අවම වශයෙන් රුපියල් 110ක පමණ මුදලක් වැය වන බව මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා පත් කළ නිලධාරි කමිටුව විසින් වාර්තා කර ඇත.

එසේම, “පාසල් ආහාර වැඩසටහන” වෙනුවෙන් Save the Children සංවිධානය මඟින් 2024 වර්ෂය සඳහා තෝරාගත් පාසල් 917ක සිසුන් ලක්ෂ 2කට ආහාර ද්‍රව්‍ය වර්ග 03ක් ලබා දීමට එකඟතාව පළ කර තිබේ.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT