Thursday, May 15, 2025
Home » රොනී ද මැල් රෝහණ විජේවීරව හමුවෙලා
දේශපාලන කටගැස්ම

රොනී ද මැල් රෝහණ විජේවීරව හමුවෙලා

by sachintha
March 6, 2024 1:10 am 0 comment

ශ්‍රී ලංකාවේ බිහි වූ මුදල් අමාත්‍යවරුන් අතරින් දෙදෙනෙකු සුවිශේෂය. ඉන් එක් අයෙකු ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා වන අතර, අනෙක් අමාත්‍යවරයා පසුගියදා දිවංගත වූ රොනී ද මැල් මහතා විය. ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා සිය දේශපාලන දර්ශනය හා සමාන්තරව දිවයන වාමවාදී ආර්ථික වැඩපිළිවෙළක් හරහා රටේ ආර්ථිකය හා මුදල් අමාත්‍යාංශය මෙහෙය වූ අතර, රොනී ඊට හාත්පසින්ම වෙනස් ආර්ථික මොඩලයක් රටට හඳුන්වා දෙන්නට කටයුතු කළේය.

ජේ. ආර්.ගේ කැබිනෙට්ටුවේ මුදල් අමාත්‍යවරයාගේ වගකීම් භාරගත් රොනී ද මැල් මහතා විවෘත ආර්ථීක වැඩපිළිවෙළ හා දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රම සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කරමින් ආර්ථික කටයුතු මෙහෙයවීය. ජේ. ආර්.ගේ පළමු පාලන සමයේ අවසාන භාගය වන 1982 පමණ වන විට අපේ රටේ ආර්ථික වර්ධන වේගය සියයට පහකට වඩා ඉහළට ගෙන ඒමට රොනී සමත් විය. ‘රෝනී – පනී’ යන සිරස්තලය පුවත්පත්වල එක වරක් නොව කිහිප වාරයක් පළ විය. දේශපාලන ඉතිහාසය විමසා බැලීමේදී රොනී කිහිප විටක්ම තම පක්ෂය මාරු කළ දේශපාලනඥයෙකු විය.

1970 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දෙවිනුවර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස තේරී පත්වූ රොනී නැවත දෙවිනුවර ජය ගන්නේ එක්සත් ජාතික පක්ෂයෙනි. එලෙස එක්සත් ජාතික පක්ෂයෙන් රොනී දෙවිනුවර ජය ගන්නා විට රටෙන් හයෙන් පහක බලයක් එක්සත් ජාතික පක්ෂයට හිමි විය. හයෙන් පහක බලයක් යනු ඡන්ද පොළට පැමිණි හය දෙනෙකුගෙන් පස් දෙනෙකුගේම කතිරය එජාපයේ අලියා ඉදිරියෙන් සලකුණු කොට තිබීමය. මෙලෙස වාර්තාගත ජයග්‍රහණයක් ලබා ගත් ආකාරයත් ඒ සඳහා රොනී ද මෙල් මහතා ලබා දුන් දායකත්වයත් පිළිබඳව වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිහිපත් කළේ රොනීගේ අවමංගල උත්සවයේ ගුණකථනය සිදු කරන අතරේය. 1970 දී බලයට පත්වූ සමඟි පෙරමුණ රජය සන්නද්ධ විප්ලවයකින් පෙරළා බලය ලබාගන්නට ගොස් සිරබත් කමින් සිටි රෝහණ විජේවීර හමුවන්නට රොනී ද මැල් කිහිප විටක් බන්ධනාගාරයට ගිය බවත්, සාකච්ඡා කොට 1977 දී එජාප ජයග්‍රහණයට ජවිපෙ සහය ලබාගන්නට කටයුතු කළ බවත් ඇසුණේ රොනීගේ අවමංගල සභාවේ ගුණකථන සිදු කරද්දීය.

ඊට හිලව් ලෙස විජේවීරට නිදහස ලබා දෙන්නට කපුගම කළේ ද රොනී බව තවදුරටත් ඒ කතා අතරම කියවුණු අතර, 76 වසරක සාපයට දෙස් තියෙන ජවිපෙ උන්නැහැලාගේ කෙරුවාව අද වගේම ඉස්සරත් එහෙමය. 1977දී ජේ. ආර්.ගේ හයෙන් පහක බලයට යටින් උදව් කොට සම්මාදන් වූවා සේ රටේ බිහි වූ සෑම නායකයෙකුටම, නායිකාවකටම ජවිපෙ ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ කඩේ ගිය වග නම් සැබෑවක් මය. 1977දී ජේ. ආර්ට කඩේ ගිය ජවිපෙ අසූ අටේදී කඩේ ගියේ රණසිංහ ප්‍රේමදාසටය. ජවිපෙ ජනාධිපති ඡන්දයට එරෙහිව භීෂණය නොපැතිරුවා නම් සැබෑ ජනමතය ප්‍රකාශයට පත් වී ජනාධිපතිවරණය දිනන්නේ ප්‍රේමදාස නොව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියය. ඊළඟට බල පෙරළිය සිදුවූයේ 1994 දීය. ජනාධිපතිවරණයට තරග කළ ගාමිණී දිසානායකගේ අභියෝගය හමුවේ චන්ද්‍රිකාගේ සහායට අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වන්නේ ජවිපෙ අපේක්ෂක නිහාල් ගලප්පත්තිය.

2000දී චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් මැති ඇමැතිවරුන් ඉවත්ව බහුතරය අහිමි වූ විට පරිවාස ආණ්ඩුවක් අටවා චන්ද්‍රිකාට සහායට එන්නේ ද ජවිපෙය. චන්ද්‍රිකා ජනාධිපතිව සිටියදී අගමැති වූ රනිල්ගේ ආණ්ඩුව ගෙදර යවන්නට පෙළපාළි යන්නේ ද ජවිපෙය. චන්ද්‍රිකා සමඟ බුලත් කොළ සන්ධානය අටවා මන්ත්‍රී ආසන 43ක් දිනා යළිත් චන්ද්‍රිකා සමඟ දීග කන්නේ ද ජවිපෙය.

චන්ද්‍රිකාගේ බලය පිරිහෙන විට මහින්දගේ ජනපති සටන අතට අරගෙන, මහින්ද රජ පුටුවේ ඉන්දන්නේ ද ජවිපෙය. මහින්ද රට ද සංවර්ධනය කරමින් යුද්ධය දිනාගෙන එන විට මහින්දගේ කකුලෙන් අදින්නට කටයුතු කරන්නේ ද ජවිපෙය. වීරවංශ ජානිපෙ හදාගෙන මහින්දගේ සාටකයේ එල්ලෙන්නේ මෙන්න මේ වෙලාවේය. කොහොමෙන් කොහොමහරි මහින්ද යුද්ධය දිනූ විට යුද ජයග්‍රහණය මහින්දගේ නොව ෆොන්සේකාගෙ යැයි කියා මහින්ද පරදවන්නට ෆොන්සේකා දිනවන්නට කඩේ යන්නේද ජවිපෙ ය. 2015 දී මහින්ද ගෙදර යවා සිරිසේන ජනාධිපති කරවන්නට හොරෙන් හොරෙන් කඩේ යන්නේ ද ජවිපෙමය. ඊයේ පෙරේදා අරගලය ද එහෙම එකක් දැයි ජනතාව දැන් දැන් සිතන්නට පටන්ගෙනය.

1977දී ජේ. ආර්. ට සහාය දී විජේවීර හිරෙන් නිදහස් විය. අනූ හතරේදී චන්ද්‍රිකාට සහාය වී ලබා ගත්ත දේ බොහෝය. චන්ද්‍රිකාගේ ටෙලිකොම් ඇමැති එවකට ජවිපෙ ප්‍රචාර කළ ලේකම්ගේ කොමියුනිකේෂන් එකට ටෙලිෆෝන් ලබා දුන් බව ප්‍රසිද්ධ රහසකි. රනිල් ගෙදර යවා බුලත් කොළයෙන් බලය ගත් විට ඇමැති තනතුරු තුන හතරක් සමඟ නියෝජ්‍ය ඇමැති තනතුරු ද ලැබුණි. මන්ත්‍රී දුර සංඛ්‍යාව 43කි.

මන්ත්‍රීවරුන්ගේ ආහාරයට පමණක් නොව වාහනයට, විශ්‍රාම වැටුපට ජවිපෙ එරෙහි වුවද මන්ත්‍රීවරු 43ම කෑවේ ද බිව්වේ ද පාර්ලිමේන්තු කැන්ටිමෙන්ය. 43 දෙනාගේම වාහන පර්මිට් කාර් සේල්වලට වික්කේ මුදලටය. අදටත් හිටපු මන්ත්‍රීලාගේ විශ්‍රාම වැටුප ගෙඩිය පිටින්ම එකතු වන්නේ පක්ෂයේ අරමුදලටය. 2005 දී සහාය දී මහින්දගෙන් ඇමැතිකම් නොගත්ත ද මහින්දගෙන් ගත්තේ ගුවන්විදුලි රූපවාහිනී සංඛ්‍යාතය. වෙනත් විදියකට කියනවා නම් රේඩියෝ චැනල් හා රූපවාහිනී චැනල්ය. අදත් V FM ලෙස ක්‍රියාත්මක වන්නේ මෙලෙස මහින්දගෙන් ලබාගෙන පසුව විකිණූ රේඩියෝ චැනලයකි. 2010 දී මහින්ද පරාද කොට ෆොන්සේකා දිනුවා නම්, ලැබෙන්නට තිබුණු දේවල් ගැන අපි නොදන්නේ ෆොන්සේකා පරාජය වූ නිසාය. 2015 දී මහින්ද පැරද වූ පසු දුන්න දේවල් පිළිබඳව විජේදාස රාජපක්ෂ දෙතුන් වතාවක් කිව්වේ ප්‍රසිද්ධියේය. මලික් සමරවික්‍රම දන් කඳක් නෝට්ටුවලින් පුරවා මාස් පතා යැවූ බව දේශපාලනයේ ප්‍රසිද්ධ රහසකි. මැයි 09 දා ගෝල්ෆේස් ආ සජිත් ප්‍රේමදාස පොල්ලෙන් ගසා පලවා හැරියේ ඇයි දැයි කියන්නට තාමත් වේලාසන වැඩිය.

ජවිපෙ ඉතිහාසය පුරාම කාටහරි කඩේ ගියේ කවුරුන් හෝ පරදවා කවුරුන් හෝ බලයට ගෙන එන්නටය. ඉතිහාසය එසේය. වර්තමානය මෙසේය. අනාගතය කෙසේ වනු ඇත්දැයි හිතන්නට නම් ඉතිහාසයේ ද වර්තමානයේ ද හැසිරීම් ප්‍රමාණවත්ය. එහෙම හිතන්නට පියවි සිහියක් තිබිය යුතුය. ජවිපෙ නායකයන් පළමුව සියයට තුනම නිර්වින්දනය කොට ඇත. නිර්වින්දනය වූ සීයට තුනෙන් කොටසක් සමාජ මාධ්‍ය හරහා මුළු රටම නිර්වින්දනය කරන්නට වෙර දරමින් සිටින අතර, ඔවුන් ස්වයං වින්දනයක නිරත වන වග දැනගන්නට නම් ඡන්දයක් තිබිය යුතුමය.

එතෙක් අපි එක මිටට එක් කොට බස්වලින් එහෙට මෙහෙට අදින ගැහැනුන් ද මිනිසුන් දෙස උපේක්ෂාවෙන් බලා සිටිමු. ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැමිණියහොත් ස්වයං වින්දනය ස්වප්න මෝචනයකින් අවසන් වනු ඇත.

සුගීගේ සටහන මෙහෙම ලිව්වේ හඬන්නට වැලපෙන්නට මෙන්න ළාමකව සිනාසෙන්නට ද නොව හොඳට හිතන්නටය.

ඔබ සැමට චිරං ජයතු!

මම

සුගත් හේවාපතිරණ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT