මුලතිව්, කොක්කුතුඩුවායි සමූහ මිනීවළේ සතර දෙසටම මීටර් දහයක් දුරට තවත් මිනිස් ඇටසැකිලි කොටස් අති බවත් මාර්තු මාසයේදී එම සමූහ මිනීවළේ කැණීම් කටයුතු සඳහා මුදල් ලැබෙන බවත් ඊට සම්බන්ධ නිලධාරීහු මුලතිව් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පෙරේදා 4දා කියා සිටියහ.
මෙම මිනීවළේ අවට ප්‍රදේශය අධිකරණ නියෝගයක් ලබාගෙන ස්කෑන් පරීක්ෂණයකට ලක් කළ අවස්ථාවේදී දැනට කැණීම් සිදු කොට ඇති ප්‍රදේශයට අමතරව සතර දෙසින්ම වළ දමා ඇති මිනිස් ඇටසැකිලි නිරීක්ෂණය වූ බව ද එම නිලධාරීහු මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතා හමුවේ කියා සිටියහ.
කොක්කුතුඩුවායි සමූහ මිනීවළෙන් අදියර දෙකකදී ගොඩගත් මිනිස් ඇටසැකිලි 57 ඉතා සුරක්ෂිතව තබන ලෙස නිලධාරීන්ට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා මීළඟ කැණීම් වාරය එනතුරු ඒ මිනිස් ඇටසැකිලි සම්බන්ධයෙන් සිදු කළ හැකි මූලික පරීක්ෂණ සිදු කරන ලෙස ද නිලධාරීන්ට දන්වා සිටියේය.
මුලතිව්, කොක්කුතුඩුවායී සමූහ මිනීවළ සම්බන්ධයෙන් වූ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මෙම කරුණු අධිකරණය හමුවේ විස්තර වූ අතර එම කරුණු සැලකිල්ලට ගැනීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා අදාළ නඩුව අප්‍රේල් මස 4 වැනිදා දක්වා කල්දමනු ලැබීය.
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ