සෑම දියුණු රටකම ස්ටේෂන් තියෙන්නෙ නගරයට යටින් –– ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන
කොළඹ නගරයේ ප්‍රධාන දුම්රිය ස්ථාන ආශ්‍රිත ගොඩනැඟිලි වාණිජ මධ්‍යස්ථාන වශයෙන් වැඩිදියුණු කිරීමට තමන් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, විෂය භාර ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
කොළඹ නගරය ආශ්‍රිතව පිහිටි වැල්ලවත්ත, බම්බලපිටිය, කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය වැනි දුම්රිය ස්ථානත් එහි ගොඩනැඟිලි හා දුම්රිය ස්ථාන ආශ්‍රිත ප්‍රදේශත් පුද්ගලික ආයෝජන සමඟ ඒකාබද්ධව හවුල් ව්‍යාපාර ලෙස සංවර්ධනය කිරීමට ඉදිරිපත් කළ යෝජනාවට එලෙස අනුමැතිය හිමි වූ බව හෙතෙම කීවේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (05) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
ඒ අනුව, එකී දුම්රිය ස්ථාන සහ ඊට අමතරව දෙහිවල සහ ගල්කිස්ස දුම්රිය ස්ථාන රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ ඉදිකර, මෙහෙයුම් කර, පවරා දීමේ ක්‍රමවේදය යටතේ සංවර්ධනය කිරීමටත් ඒ සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයන් වෙතින් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීමටත් ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන, නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහත්වරුන් ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.
අය-වැය යෝජනාවක් ලෙස ‘ස්ටේෂන් ප්ලාසා‘ කියලා දුම්රිය ස්ථාන පදනම් කරගෙන පෞද්ගලික ආයෝජකයන් සමඟ ඒකාබද්ධව දුම්රිය ඉඩම් සහ දුම්රිය ගොඩනැඟිලි වඩා ඵලදායීව හා කාර්යක්ෂමව වැඩි ඉපයුමක් ලැබෙන පරිදි යොදවා ගැනීමේ යෝජනාව ඉදිරිපත් කළා. ඊට කැබිනට් අනුමැතිය ලබාදුන්නා. නාගරික සංවර්ධන අධිකාරියත් සමඟ ඒකාබද්ධව නගර සැලසුම සමඟ දුම්රිය ස්ථානත් සැලසුම් කරලා ඒ අනුව විවිධ ආයෝජන සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙනවා.
ලෝකයේ සෑම දියුණු රටකම දුම්රිය මාර්ගයේ ගමන් කරන විට ඊට උඩින් සංචාරක හෝටල්, වෙළෙඳ සංකීර්ණ, නිවාස සංකීර්ණ යනාදිය හැම රටකම තිබෙනවා. ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව, එංගලන්තය, බටහිර රටවල්, අමෙරිකාව වගේම හැම රටකම දුම්රිය ස්ථානය තිබෙන්නේ යටින්. ඊට උඩින් තමයි නගර සහ ගොඩනැඟිලි ආදිය නිර්මාණය කරලා තිබෙන්නේ. ඒ සඳහා දේශීය හා විදේශීය වශයෙන් කැමැත්තක් දක්වන ආයෝජකයන්ට යෝජනා ඉදිරිපත් කරලා මිල කැඳවීම් කරාට පස්සේ වඩා හොඳ යෝජනා ඉදිරිපත් කරලා ඇගැයීමකට ලක් කරලා විනිවිද පෙනෙන ආකාරයෙන් රජයේ ආදායමත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායමත් වැඩි වන ලෙසත් දුම්රිය වත්කම් ප්‍රමාණය ඉහළ නැංවීමට දිගුකාලීන බදු පදනම යටතේ දුම්රිය වත්කම් උපයෝජනය කිරීම සඳහා වන යෝජනාවට අනුමැතිය හිමි වුණා.
නුවන් කොඩිකාර