Friday, May 16, 2025
Home » දේශීය අනන්‍යතාව රැකගෙන ඉදිරි පරපුරට දායාද කිරීම අපේ බලාපොරොත්තුවයි

දේශීය අනන්‍යතාව රැකගෙන ඉදිරි පරපුරට දායාද කිරීම අපේ බලාපොරොත්තුවයි

by sachintha
March 7, 2024 3:03 am 0 comment

ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය සිය තෙවැනි වසර සමරනු ලැබූයේ පසුගිය මාර්තු 03දාය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

දැනුමේ කේන්ද්‍රස්ථාන ලෙස විශ්වවිද්‍යාල හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට දිගු ඉතිහාසයක් ඇති අතර අප රටෙහි ජන ජීවිතයට සහ සංස්කෘතියට මෙම උසස් අධ්‍යාපනය විසින් ඉතාමත්ම වැදගත් වූ භූමිකාවන් රැසක් ඉටු කරමින් සිටී. දේශීයත්වයට මූලිකත්වය දෙමින්, දේශීය බව රැක ගනිමින් තාක්‍ෂණයත් සමඟ ඉදිරියට යනු ලබන විශ්වවිද්‍යාලයක් ලෙස ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය හඳුන්වා දිය හැකිය. ශ්‍රී ලංකාවේ ප්‍රථම දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය වන මෙය දේශීය විශ්වවිද්‍යාල අතරට එක් වූ දහසය වැනි විශ්වවිද්‍යාලය ලෙස සිය තෙවැනි වසර සමරනු ලැබූයේ පසුගිය මාර්තු පළමුවැනිදා ය. ඒ පැමිණි ගමන් මඟ සහ විශ්වවිද්‍යාලයේ ඉදිරි කටයුතු පිළිබඳව ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ උපකුලපති, රුහුණු විශ්වවිද්‍යාලයේ ශෛල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය රංජන සෙනෙවිරත්න මහතා සමඟ සිදු කළ සාකච්ඡා සටහනකි.

ව්‍යවහාරික වර්ෂ 1929 ජූලි මස 19 වැනි දින ගම්පහ සිද්ධායුර්වේද විද්‍යාලය නමින් ආරම්භ වී 1882 වර්ෂයේ දී ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාලය නමින් ද 1995 දී ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය නමින් කැලණිය විශ්වවිද්‍යාලය යටතේ විශ්වවිද්‍යාල පද්ධතියට අන්තර්ග්‍රහණය වී 2021 මාර්තු පළමුවැනි දින උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ 16 වැනි ජාතික විශ්වවිද්‍යාලය ලෙස ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය, දේශීය විශ්වවිද්‍යාල පද්ධතියට එක්විය. දේශීය වෛද්‍ය අධ්‍යාපනය සඳහා වූ පළමු විශ්වවිද්‍යාලය ලෙස මෙහි අරමුණ වූයේ දේශීය වෛද්‍ය විද්‍යාව, ලෝකය පිළිගන්නා වූ වෛද්‍ය ක්‍රමයක් බවට පත්කිරීම ය. එය ක්‍රමයෙන් සිදුවෙමින් පවතින අතර දේශීය වෛද්‍ය ක්‍රමය තුළ අඩංගු වන්නා වූ අනන්‍යතාවන්, ප්‍රතිකාර ක්‍රම, ඖෂධ වර්ග ආදී සියල්ල සමාජගත කරමින් ඒ සියල්ල පිළිබඳවම ජනතාව තුළ පිළිගැනීමක් ලැබෙන්නා වූ මට්ටමට රැගෙන ඒම ද අද සිදු වෙමින් පවතියි. ජනතාව තුළ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව විශ්වාසය තහවුරු කර ගැනීමට බටහිර පර්යේෂණ ක්‍රම දේශීය වෛද්‍ය විද්‍යාවට එකතු කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් වන අතර එමගින් දේශීය වෛද්‍ය විද්‍යාවට වඩාත් තර්කානුකූල පිළිගැනීමක් ලබාදීමට හැකිවනු ඇත. එමෙන්ම කෘෂිකර්මය, ව්‍යාපාර කළමනාකරණය, පරිපාලනය, පරිගණක විද්‍යාව, සංචාරක කර්මාන්තය ආදී පාඨමාලාවන් මෙම විශ්වවිද්‍යාලය තුළ මේ වනවිට ආරම්භ කර හමාරය.

ආයුර්වේද වෛද්‍ය ක්‍රම

වර්තමානය වනවිට දේශීය වෛද්‍ය විද්‍යාවට සුවිශේෂ ස්ථානයක් හිමි වී ඇති අතර අප රටේ ආයුර්වේද වෛද්‍ය ක්‍රම කිහිපයක් ඇත. සිද්ධ ක්‍රමය, යුනානි ක්‍රමය, හෝමියෝපති ක්‍රමය සහ අපේ පැරණි හෙළ වෙදකමයි. එය ලංකාවටම ආවේණික වූ වෛද්‍ය ක්‍රමයයි. දේශීය වෛද්‍ය ක්‍රමය මිනිස්සුන්ගේ හදවතට ඉතා සමීපය. එමෙන්ම ආර්ථික වශයෙන් ද පහසුය. දේශීය වෛද්‍ය ක්‍රමයේ විශේෂ අංශ කිහිපයකි. හන්දි අමාරු, ඇඟේපතේ අමාරු, කොන්දේ අමාරු, කැඩුම් බිඳුම් මෙන්ම නිවැරදිව සෞඛ්‍යය පවත්වාගෙන යාම පිළිබඳවත් මෙහි දී සැලකිලිමත් වේ. දේශීය වෛද්‍ය ක්‍රමයේ දී ලෙඩට බෙහෙත් දෙනවාටත් වඩා ලෙඩ නොවී සිටීමට මඟපෙන්වනු ලබයි. සෞඛ්‍යය පවත්වා ගැනීම සඳහා යෝග, භාවනා, ප්‍රතිකාර, බෙහෙත් වර්ග, කෑම වර්ග, බීම වර්ග, වත්පිළිවෙත් ආදිය සඳහා ආයුර්වේදයේ දී අවධානය යොමු කරනු ලබන අතර සිරුර නිරෝගීව පවත්වාගෙන යාම සඳහා ද මඟපෙන්වනු ලැබේ. අද වන විට මිනිසුන් ජිවත්වෙන්නේ, වැඩ කරනු ලබන්නේ අධික පීඩන තත්ත්වයන් ද සමඟිනි. ඇඟ, මනස වේගයෙන් යුතුව වැඩ කිරීමේ දී යෝග භාවනා ක්‍රම අතිශය උපකාරවනු ඇත. දේශීය වෛද්‍ය ක්‍රම භාවිතය මඟින් සමාජයේ මිනිසුන් කාර්යක්‍ෂම සහ මනසින් නිරෝගී පිරිසක් බවට පත් කළ හැකිය. වැඩිහිටි සෞඛ්‍ය ගැටලු සඳහා ප්‍රතිකාර ක්‍රම (Geriatric Medicine and Elderly care) මෙන්ම මානසික ආබාධ සහිත පුද්ගලයන් (Cycatric) සඳහා ද දේශීය වෛද්‍ය ක්‍රම මඟින් විශේෂිත වූ මෙහෙයක් ඉටු කරනු ලබයි. ඒ සඳහා විශ්වවිද්‍යාලයේ ද වැඩකටයුතු ආරම්භ කර ඇත. එමෙන්ම දේශීය විද්‍යාවන් හා බටහිර විද්‍යාවන් යන ක්‍රම දෙකම, එකම විශ්වවිද්‍යාලය තුළ සම මට්ටමේ පවත්වාගෙන යමින් ලෝකයේ දැවෙන ප්‍රශ්න සඳහා අධ්‍යාපන ක්‍රම හඳුන්වා දීම අපගේ බලාපොරොත්තුවයි. ඒ සඳහා ශිෂ්‍යයින්ට අවශ්‍ය ප්‍රායෝගික පුහුණුවීම් කටයුතු ද මේවන විට ආරම්භ කර ඇති අතර physiology, Anatony වැනි ක්‍රම ද මෙහි දී ක්‍රියාත්මක කරනු ලබයි. එමෙන්ම යක්කල ආයුර්වේද රෝහලේ, රෝහල් සායනික පුහුණුවීම්වල දී ද සිය පුහුණුවීම් කටයුතු සිදු කරනු ලබන අතර ශිෂ්‍යයන් සඳහා වෘත්තීය පුහුණුව අරමුණු කරගනිමින් තෙල් බෙහෙත් සාදන ආකාරය, තෙල් බෙහෙත් හිඳින ආකාරය, කැඩුම්- බිඳුම්වලදී ප්‍රායෝගිකව තෙල් බෙහෙත් වර්ග හදාගන්නා ආකාරය, දේශීය බෙහෙත් වර්ග සියල්ලම අදාළ වට්ටෝරුවලට අනුව සාදා ගන්නා ආකාරය, ප්‍රායෝගිකව උගන්වනු ලබයි. පාරම්පරික වෛද්‍යවරුන්ගේ ද සහාය ඇතිව සිදු කරනු ලබන මෙම ප්‍රයෝගික පුහුණුවීම් සඳහා විශේෂ හැකියාවන් සහිත වෛද්‍යවරු මෙන්ම අපගේ කථිකාචාර්යවරුන් ද සිය සේවාව ලබාදෙනු ලැබේ. ඇතැම් විෂයයන් සඳහා පළමු අවුරුද්දේ සිටම ප්‍රායෝගික පුහුණුවීම් අවශ්‍ය වන අතර ශිෂ්‍යයන් ඒ සඳහා පළමු වසරේ සිටම යොමු කරනු ලබයි. එවිට අවසන් වසර වනවිට ඔහු උපාධියක් සහිත ප්‍රායෝගික පුහුණුවෙන් ද සන්නද්ධ උපාධිධාරියෙකු බවට පත් වී හමාරය.

උපාධිය සමඟ ඩිප්ලෝමාව

දේශීය වෛද්‍ය විද්‍යා පීඨයට අමතරව අද වන විට දේශීය සෞඛ්‍යය විද්‍යා හා තාක්ෂණ පීඨය යටතේ උපාධි පාඨමාලා හයක් ක්‍රියාත්මක වන අතර දේශීය සමාජීය විද්‍යා හා කළමණාකරණ පීඨය යටතේ උපාධි පාඨමාලාවක් සහ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයක් ක්‍රියාත්මක වේ. මේ වනවිට අපගේ ශිෂ්‍යයන් සහ ආචාර්ය මණ්ඩලය විශාල සමාජ වගකීමක් සහිතව රටේ දැවෙන ප්‍රශ්නවලට මෙන්ම ලෝකයේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේ සංස්කෘතියක් ගොඩනඟමින් සිටී. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලය තුළ සිටින වගකිවයුතු පුද්ගලයන් ලෙස ක්‍රියාකරන අතරම පවුල මත හෝ රජය මත යැපෙන්නට අවශ්‍ය නොවන පිරිසක් සමාජගත කිරීමට අප සූදානම් වී හමාරය. උපාධිය සම්පූර්ණ කරනු ලබන අතරතුරම කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවක් ශිෂ්‍යයන් විසින් සම්පූර්ණ කළ යුතුය. එහිදී පරිපාලනය පිළිබඳව, කළමනාකරණය පිළිබඳව සියලුම සිසුන් දැනුම්වත් වන අතරම ඔවුන්ට උපාධියත් සමගම ඩිප්ලෝමාවක් ද හිමිවනු ඇත. මෙම කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව බාහිර පුද්ගලයන් සඳහා හඳුන්වා දී ඇති අතර අභ්‍යන්තර සිසුන්ට කිසිඳු අයකිරීමකින් තොරව ඒ සඳහා සහභාගී වී පාඨමාලාව සම්පූර්ණ කළ හැකිය. පුද්ගල සංවර්ධනය මෙන්ම සමාජයේ ව්‍යවසායකයෙකු වීමට අවශ්‍ය මගපෙන්වීම ද මෙමගින් ලැබෙනු ඇත.

විශ්වවිද්‍යාලය තුළ අපි උත්සාහ කරනු ලබන්නේ හැකිතරම් රජයේ මුදල්වලට බරක් නොවී විශ්වවිද්‍යාලයේ කටයුතු සිදු කර ගැනීමටය. විශ්වවිද්‍යාලයෙන් ඒ සඳහා විවිධ වූ ව්‍යාපාර කිහිපයක්ම ආරම්භ කර දැනටමත් ක්‍රියාත්මක කරමින් පවතියි. ආයුර්වේද බෙහෙත් ශාලා, ෆාමසි, රූපලාවණ්‍ය ඩිප්ලෝමා පාඨමාලා, ඖෂධ නිෂ්පාදනය පමණක් නොව දේශීය ආහාර වර්ග අලෙවිසල් මෙන්ම දේශීය කෑම වර්ග නිෂ්පාදනය, දේශීය බීම වර්ග නිෂ්පාදනය ආදී සියලු කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර ඇතැම් ඒවා පර්යේෂණ මට්ටමේ පවතියි. අප මේ හා සම්බන්ධ ව්‍යාපාරිකයන් සමඟ ද සහයෝගයෙන් සහසම්බන්ධතාවයෙන් යුතුව කටයුතු කරගෙන යාමට බලාපොරොත්තු වන අතර ඒ තුළින් විශ්වවිද්‍යාලයට ආධාර උපකාර ලැබෙනවා පමණක් නොව අපේ ශිෂ්‍යයන්ට ද ඒ තුළ රැකියා කිරීමේ අවස්ථාව උදාවෙනු ඇත. එමගින් ඔවුන්ගේ ද ආර්ථික තත්ත්වය වර්ධනය වනු ඇත. තාක්ෂණ විද්‍යා පීඨය මගින් මේ වන විට දේශීය බෙහෙත් වර්ග, දේශීය කෑම වර්ග, දේශීය තේ වර්ග මෙන්ම නියුට්‍රිෂන් ආහාර වැනි විවිධ දේ නිෂ්පාදනය කර ඇති අතර අපගේ වෙළෙඳසල් හරහා මෙන්ම අනෙකුත් වෙළෙඳසල් හරහා ද මෙම නිෂ්පාදන බෙදාහැරීමට බලාපොරොත්තු වේ.

හයිබ්‍රිඩ් ක්‍රමයට ඩිප්ලෝමා

මේවන විට පාසල් ශිෂ්‍යයන්ට මෙන්ම පාසල් හැරගිය, රැකියාවලට අවතීර්ණය වීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයින්ට පවා විවිධ ඩිප්ලෝමා පාඨමාලා හඳුන්වා දී තිබේ. සමාජයේ ජනප්‍රිය රැකියාවන් අතර ආයුර්වේද රූපලාවණ්‍ය ඩිප්ලෝමා පාඨමාලාව පමණක් නොව වෛද්‍ය තොරතුරු තාක්ෂණික උපකරණ පාඨමාලාව සහ කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව ද මේවන විට හඳුන්වාදී ඇත. ඉදිරියේදී තවත් පාඨමාලාවක් ලෙස ඉගැන්වීමේ දී ගුරුවරුන්ට අවශ්‍ය තාක්‍ෂණික දැනුම ලබාදීම අරමුණු කරගනිමින් හයිබ්‍රිඩ් ක්‍රමය උපයෝගි කරගනිමින් ඩිප්ලෝමා පාඨමාලා සහ ශාස්ත්‍රපති පාඨමාලා හඳුන්වා දීමට නියමිතය. එමෙන්ම විශ්වවිද්‍යාලය තුළ රසායනාගාර පහසුකම් ඉතා ඉහළ තත්ත්වයේ පවතින බැවින් මේවන විටත් එම පහසුකම් බාහිර පුද්ගලයන්ට සාධාරණ මිලක් යටතේ අප විසින් ලබාදෙනු ලබයි. තවදුරටත් එම පහසුකම් වැඩිදියුණු කිරීමට ද බලාපොරොත්තු වේ. මෙයට අමතරව අප සතුව පවත්නා රසායනාගාර උපයෝගි කරගනිමින් විවිධ පාඨමාලා පවත්වාගෙන යනු ලබන අතර රසායනාගාර පහසුකම් නොමැති ඇතැම් විශ්වවිද්‍යාලයන්ට, පෞද්ගලික විශ්වවිද්‍යාලයන්ට සහ පාසල් ශිෂ්‍යයන්ට පර්යේෂණ සඳහා යම් ගෙවීමක් මත එම රසායනාගාර පහසුකම් ලබා දීමේ හැකියාව ද අප සතුව පවතියි. අපගේ අධ්‍යාපන ක්‍රම තුළ ගුණාත්මකභාවයේ ප්‍රධාන අඩුවක් ලෙස මෙම රසායනාගාර තුළ සිදුකරනු ලබන ප්‍රායෝගික පුහුණුවෙහි අවම බව හඳුන්වා දිය හැකිය.

අප විශ්වවිද්‍යාලය චීනය, රුසියාව, ඉන්දියාව වැනි විදෙස් රටවල් සමග ගිවිසුම්ගත වෙමින් සමීප සම්බන්ධතාවයෙන් යුතුව කටයුතු කරගෙන යනු ලබයි. උපාධි පාඨමාලා පැවැත්වීම සහ ශිෂ්‍ය සටහන් මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් පවතියි. චීන විශ්වවිද්‍යාලයක් සමඟ එකතු වී (ට්‍රැඩිෂනල් චයිනීස් මෙඩිසින්) සාම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යා උපාධිය ලංකාව තුළ ආරම්භ කිරීමට අප බලාපොරොත්තුව න අතරම චීන දේශීය වෙදකම පිළිබඳ උපාධියක් සහ කෙටිකාලීන පාඨමාලා ලංකාවේ ආරම්භ කිරීමට ද අප බලාපොරොත්තු වේ. ප්‍රධාන වශයෙන්ම අපගේ අරමුණ වන්නේ බටහිර රටවල්වල විශ්වවිද්‍යාල සමඟත් දේශීය විශ්වවිද්‍යාල සමඟත් මනා සම්බන්ධතාවන් පවත්වා ගනිමින් සියලු‍ ආකාරයේ දේශීය දැනුම ආරක්‍ෂා කරගනිමින් ඉදිරියට ගමන් කිරීමය. ලෝකයේ සෑම රටකම තම රටට ආවේණික වූ දේශීය දැනුමක් පවතින බැවින් අපගේ දේශීය දැනුමත් එම දැනුමත් එක් කරගනිමින් ඒවා සංසන්දනය කරමින් බටහිර දැනුමේ සහ දේශීය දැනුමේ සංකලනයන් ඇති කරගනිමින් ඒ තුළින් සමාජයේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට ද අපට හැකිවනු ඇත. රුසියානු විශ්වවිද්‍යාලය විසින් අප විශ්වවිද්‍යාලයට තෑග්ගක් ලෙස රෂියන් කල්චරල් සෙන්ටර්හි පරිගණක පහසුකම් සහිතව දේශන ශාලාවක් ලබාදුන් අතරම එම ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස රුසියාවේ සිට ගුරුවරුන් මෙහි පැමිණ සති හතරක රුසියානු පාඨමාලාවක් පවත්වනු ලබයි. ගෝලීය රුසියානු භාෂා පිළිබඳ තරඟයකින් ලංකාවෙන් සමත් වූ හත්දෙනා මෙහි පළමු පාඨමාලාවෙන් සමත් වූ අය වෙති. මේ වනවිටත් ඔවුන්ට රුසියානු රජය විසින් රුසියානු භාෂාව පිළිබඳ උසස් අධ්‍යාපන අවස්ථා සඳහා ආරාධනා කර ඇති අතර අපගේ පළමු උපාධිය අවසන් වූ පසු ඔවුන් එම අවස්ථාව උදාකරගනු ඇත. දේශීය අනන්‍යතාව රැකගනිමින් අනෙකුත් විශ්වවිද්‍යාල සමඟ ඉදිරියට යෑම අපගේ බලාපොරොත්තුවයි.

කුසලා සජීවනී

 

ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ උපකුලපති, රුහුණු විශ්වවිද්‍යාලයේ ශෛල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ

මහාචාර්ය රංජන සෙනෙවිරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT