Thursday, May 15, 2025
Home » පාර්ලිමේන්තුවට හිමි මුදල් බලය අනුව තීරණයක් ගත යුතුයි – ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය

පාර්ලිමේන්තුවට හිමි මුදල් බලය අනුව තීරණයක් ගත යුතුයි – ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය

by sachintha
March 7, 2024 1:50 am 0 comment

පනත් අනුව පැවරී ඇති බලය කුමක් වුවත් සමාජ සාධාරණත්වය අනුව මහ බැංකු සේවක වැටුප් වැඩි කිරීම පිළිබඳ උත්තරීතර පාර්ලිමේන්තුවට හිමි මුදල් බලය අනුව තීරණයක් ගතයුතුව ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය.

සමාජ ආරක්ෂණ බද්ද සහ එකතු කළ අගය මත බද්දට අදාළ සංශෝධනය පිළිබඳ විවාදයට එක් වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

තවදුරටත් රාජ්‍ය ඇමැති මෙසේද පැවසීය.

එමෙන්ම සියලු අදහස් විමසමින් මුදල් කාරක සභාව මඟින් පරිපූර්ණ වාර්තාවක් සකස් කළ යුතුයි. එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුව සතු උත්තරීතර බලය අනුව තීරණයක් ගතයුතුයි.

සමාජ ආරක්ෂණ බද්ද මඟින් තවත් රුපියල් බිලියන 14ක ආදායමක් උපයා ගැනීම රජයේ අපේක්ෂාවයි. ඒ සඳහා තවත් බදු ගොනු 8,000 විවෘත කර ගැනීමේ අරමුණෙන් ඊට අදාළ සංශෝධන ඉදිරිපත් කළා.

සමාජ ආරක්ෂණය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ දී ප්‍රමුඛ අවධානය යොමු කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සඳහා මෙම වසර සඳහා රුපියල් බිලියන 205ක මුදලක් වැය කරනවා. 2022 වසරේ දී ආණ්ඩුව සමාජ ආරක්ෂණය වෙනුවෙන් වැය කළේ රුපියල් බිලියන 44ක් . එම ප්‍රමාණය 355%කින් වර්ධනය කරමින් 2024 දී අදාළ මුදල් වැය කිරීමට අපේක්ෂා කරනවා. මීට පෙර වසරවල දී ඊට අදාළ මුදල් විදේශ සංවිධාන මගින් හිමි වුව ද මෙවර සමස්ත මුදල ආණ්ඩුව උපයා ගතයුතුයි.

මේ අතර එකතු කළ අගය මත බද්දට යටත් වීමේ පිරිවැටුම ද රුපියල් මිලියන 80 සිට රුපියල් මිලියන 60 දක්වා පහත දමා ඇති අතර බදු ආදායම ශක්තිමත් කිරීම තුළින් ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කිරීමට අවශ්‍ය පියවර රජය ගනිමින් සිටිනවා. එමෙන්ම ඉතිහාසයේ ගනු ලැබූ ඇතැම් අදූරදර්ශී තීරණ වෙනස් කිරීමට අවශ්‍ය පසුබිම ආණ්ඩුව සකස් කරනවා. 2022 වසරේ දී ලක්ෂ 18කට වැඩි පිරිවැටුමත් ඇති සියලු ව්‍යාපාර එකතු කළ අගය මත බද්දට යටත් කෙරුණු අතර එය 2020 වසරේ දී මිලියන 300 දක්වා ඉහළ දැමුවා.එම අදූරදර්ශී තීරණයේ ප්‍රතිඵලය වූයේ පැවැති බදු ගොනු සංඛ්‍යාව 70%කින් පහළ යෑමයි. යළිත් ක්‍රමානුකූලව බදු ගොනු සංඛ්‍යාව ඉහළ නංවා ගැනීම ආණ්ඩුව සිදු කරමින් පවතිනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT