Thursday, May 15, 2025
Home » පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ආරම්භ කරන්න ඉන්දියාවට-චීනයට ටෙන්ඩර් ලබා දී නැහැ -ඇමැති කංචන විජේසේකර

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ආරම්භ කරන්න ඉන්දියාවට-චීනයට ටෙන්ඩර් ලබා දී නැහැ -ඇමැති කංචන විජේසේකර

by sachintha
March 7, 2024 1:53 am 0 comment

 

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීමට ඉන්දියාවටවත්, චීනයටවත් මෙරටින් ටෙන්ඩර් ලබාදී නොමැති බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06) පැවසීය.

උතුරු පළාතේ සෝලා සවි කිරීමට චීනය නීත්‍යානුකූලව ලබාගත් ටෙන්ඩරය අවලංගු කළේ මන්ද, අදානි සමාගම සෝලා සවි කිරීමේදී ඔවුන් අනුගමනය කළ ප්‍රතිපත්ති කුමක්ද, ඒ සම්බන්ධයෙන් වන නීත්‍යනුකූල තත්ත්වය කුමක්ද යනාදිය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ඇසූ ප්‍රශ්නයන්ට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

ඇමැතිවරයා මෙසේ ද පැවසිය.

චීනයට ටෙන්ඩරයක් මේ සම්බන්ධයෙන් ලබාදී නැහැ. චීන රජය එවැනි ඉල්ලීමක් ද කර නැහැ. අදානි සමාගමට සෝලා සවි කිරීමේ ව්‍යාපෘතියක් සඳහා අනුමැතිය ලබා දී නැහැ. ශ්‍රී ලංකා ආණ්ඩුව ලබාදී ඇති යෝජනාව වන්නේ අමෙරිකානු ඩොලර් ශත දශම 897ක්. එහි රුපියල් වටිනාකම වන්නේ 27.65යි. වහලය මත සවි කරන සූර්ය පැනලයකට රුපියල් 37ක් අපි දැන් ගෙවනවා. රුපියල් 30කට අඩුවෙන් විදුලිය ඒකකයක් ගන්න පුළුවන් නම් එය රටට ලැබෙන වාසියක්. චීනයටවත් ඉන්දියාවටවත් විදුලිය සම්බන්ධයෙන් අපේ ආණ්ඩුව කිසිදු දෙයක් ලබාදී නැහැ. ඒ රටවල විවිධ ආයෝජකයන් පැමිණ යෝජනා ලබාදී තිබෙනවා.

යාපනය, නාගදීපය, නයිනතිවු දූපත්වල විදුලිය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියකට ඉන්දියානු රජය සහාය දුන්නා. මූල්‍ය ප්‍රදානයක් විදියට ඩොලර් මිලියන 11ක් ඔවුන් දෙනවා. ඒ ප්‍රදානය තුළ ටෙන්ඩර් කැඳවා ව්‍යාපෘතිය සමාගමකට ලබාදී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කිසිදු සත පහක් අපේ ආණ්ඩුවට දැන් වැය වන්නේත් නෑ. අනාගතයේ වැය වන්නේත් නැහැ. සම්පූර්ණ ව්‍යාපෘතියේ ප්‍රතිලාභය යාපනය, නාගදීපය, නයිනතිවු දූපත්වලට ලැබෙනවා. පරිසර ඇගැයීම් වාර්තා අපට ලබාදිය යුතුයි. ඒ නිර්දේශ අනුව ඊළඟ ව්‍යාපෘතිය කරනවාද යන්න තීරණය කරනවා. සුළං බලාගාරයක් හදන්න අදානිට දීලා තිබෙනවා, ඒ නිසා පරිසර හානියක් වෙනවා කියලා මතයක් ගොඩනඟා තිබෙනවා. පරිසර හානියක් වන බවට වාර්තාවල තිබේ නම් එය අදානි කළත් වෙනවා, දේශීය සමාගමක් කළත් වෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT