Friday, May 16, 2025
Home » වාහනයට කෙළ ගැසුවැයි තරුණයන් 2කට පහර දුන් SIගේ වැඩ තහනම්

වාහනයට කෙළ ගැසුවැයි තරුණයන් 2කට පහර දුන් SIගේ වැඩ තහනම්

by sachintha
March 7, 2024 2:00 am 0 comment

පහර කෑවැයි එස්අයිත් රෝහල්ගත වෙයි

සිද්ධියෙන් පසු උඩප්පුව උණුසුම් වෙයි

උඩප්පුවේ නගරයේ ඇතිවු සිදුවිමක් හේතුවෙන් චෝදනා එල්ල වී ඇති උඩප්පුව පොලිස්ථානයට අනුයුක්තව සේවයේ නිරත උප පොලිස් පරීක්ෂක වරයාගේ වැඩ තහනම් කිරීමට පුත්තලම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කුමාර රූපසිංහ මහතා 6 දින සවස කටයුතු කර තිබුණි.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ උඩප්පුව පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ නමැති නිලධාරීයකු බව කියයි.

අදාළ උප පොලිස් පරීක්ෂක වරයා 5 දින රාත්‍රියේ ඔහුගේ හිතවතෙකු සමඟ ඔහුගේ වාහනයෙ නැඟී ගමන් කරමින් සිටියදී උඩප්පුව නගරයෙදී තරුණයින් පිරිසක් මෙම උප පොලිස් පරීක්ෂක වරයා ගමන් ගත් වාහනයට කෙළ ගැසූ බවට චෝදනා කරමින් එම ස්ථානයෙ සිටි තරුණයින් දෙදෙනෙකුට පහර දීමෙන් පසු උණුසුම් තත්ත්වයක් මතුව තිබුණි.

අදාළ සිදුවීමෙන් පසු උඩප්පුව නගරයට හා පහර කෑමට ලක් වූ තරුණයින් පළමුව ඇතුළත් කළ උඩප්පුව ප්‍රාදේශීය රෝහල ඉදිරිපිටට එක්වී 500ක පමණ පිරිසක් මෙම පහර දීමට විරෝධය මතු කරමින් විරෝධතාවයක් මතු කර තිබුණි.

ඒ සමඟ උඩප්පුව නගරයේ ඇතිවූ උණුසුම් තත්ත්වය කඩිනමින් පාලනය කිරීමට මුන්දලම පොලිස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට යැවිමට පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කටයුතු කර තිබේ.

ඉන් පසුව කළහකාරි ලෙස හැසිරුණ පිරිස සමඟ සාකච්ජා කර ප්‍රශ්න සදහා විසදුමක් ලබා දෙන බවට මුන්දලම පොලිස්ථානාධිපතිවරයා පිරිසට දැනුම් දිමත් සමඟ පිරිස විසිර ගොස් තිබුණි. කෙසේ වෙතත් උප පොලිස් පරීක්ෂකවරයා ද තමන්ට අදාළ ස්ථානයේදී පිරිසක් පහරදුන් බව පවසමින් පුත්තලම මූලික රෝහලට ඇතුළත් වී තිබුණි.

කෙසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුල් වූ උඩප්පුව අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපතිවරයගේ ක්‍රියා කලාපය හේතුවෙන් සිදුවු කරුණු මුල් කර ගනිමින් එම උප පොලිස් පරීක්ෂකවරයාගේ සේවය තහනමට ලක් කිරීමට පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කටයුතු කර ඇත.

පුත්තලම අතිරේක හිරාන්

ප්‍රියංකර ජයසිංහ, ප්‍ර‍සාද්

පූර්ණමාල් හා මාරවිල

මිහිර විජේසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT