Friday, May 16, 2025
Home » අන් අයකු ලෙස පෙනී සිටීමේ වරදට බන්ධනාගාරගතව සිට පැන ගිහින් ත්‍රීවිලයක් උස්සලා

අන් අයකු ලෙස පෙනී සිටීමේ වරදට බන්ධනාගාරගතව සිට පැන ගිහින් ත්‍රීවිලයක් උස්සලා

by sachintha
March 7, 2024 1:36 am 0 comment

අන් අයකු ලෙස පෙනී සිටීමේ වරදට වසර දෙකහමාරක දඬුවමක් ලැබ මසක් ගත වෙද්දී බන්ධනාගාරයෙන් පැන ගොස් කොට්ටාව නගරයේ නවතා තිබූ ත්‍රිරෝද රථයක් සොරාගෙන පලා ගිය පුද්ගලයෙකු සොරාගත් ත්‍රිරෝද රථය, හෙරොයින් ග්‍රෑම් 10ක් සමඟ ඊයේ (06) අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ÒරෝයිÓ නමැත්තා බව පොලිසිය පවසයි.

කොට්ටාව හොරණ පාරේ පිහිටි ප්‍රසිද්ධ පාසලක් අසල ඉකුත් 27 වැනිදා සංවිධානය කර තිබූ සංගීත ප්‍රසංගයක් නැරඹීමට පන්නිපිටිය පැලැන්වත්ත ප්‍රදේශයේ මිතුරන් පිරිසක් පැමිණ රථ ගාලක ත්‍රිරෝද රථය නවතා ප්‍රසංගය පවත්වන ස්ථානයට යද්දී ත්‍රිරෝද රථයේ හිමිකරු බලා සිටියදීම කිසියම් අයෙකු ඔහුගේ ත්‍රිරෝද රථය සොරාගෙන ගිය බවට කොට්ටාව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකරමින් සිටියදී කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ නි‍ෙවසකට සැක කටයුතු ලෙස පැමිණි පුද්ගලයෙකු ත්‍රිරෝද රථයක කොටස් ගලවා විකිණීමට යන බවට කොට්ටාව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බුද්ධික චතුරංග මහතාට පෞද්ගලික ඔත්තුකරුවකු හරහා තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලිසිය නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී මෙම ත්‍රිරෝද රථය කොට්ටාව සංගීත ප්‍රසංගය අසලදී සොරා ගත් ත්‍රිරෝද රථය බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ අනුව ත්‍රිරෝද රථය එහි සිටි රියැදුරු සමඟ අත්අඩංගුවට ගෙන සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10ක් පොලිස් භාරයට ගත් බව පොලිසිය පවසයි.

පසුව අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මරදාන, මිරිහාන හා මහරගම පොලිස් වසම්වලින් ත්‍රිරෝද රථ තුනක් සහ යතුරුපැදියක් සොරා ගැනීමේ සිද්ධීන් හතරකට බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව සිටියදී වෙනත් අයකු ලෙස පෙනී සිටීමේ වරදට වසර දෙකහමාරක සිරදඬුවමක් නියමව බන්ධනාගාරගතව මසක් ගත වෙද්දි ඉකුත් 26 වැනිදා බන්ධනාගාරයෙන් පැන ආ පුද්ගලයකු බවට තොරතුරක් අනාවරණය වී තිබේ.

මෙසේ බන්ධනාගාරයෙන් පැනවිත් ඊට පසු දිනම කොට්ටාව නගරයේ පැවති සංගීත ප්‍රසංගය අසලට පැමිණ එහි රථගාලේ නවතා තිබූ ත්‍රිරෝද රථයක් මෙසේ සොරාගෙන ගිය බවට පොලිසියට කළ කටඋත්තරයේ සඳහන්ව ඇත.

මෙසේ සොරා ගන්නා යතුරුපැදි සහ ත්‍රිරෝද රථ ගලවා කොටස් කර ඒවා විකුණා ලැබෙන මුදල් හෙරොයින් පානයට වැය කර ඇතැයි පැවසේ.

අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කොට හඳුනා ගැනීමේ පෙරට්ටුවකට යොමු කිරීමට නියමිතය.

කොට්ටාව – ප්‍රදීප් කුමාර.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT