Thursday, May 15, 2025
Home » අතිරේක ලකුණු සංග්‍රහයෙන් බංග්ලාදේශය තරගාවලිය සම කරයි

අතිරේක ලකුණු සංග්‍රහයෙන් බංග්ලාදේශය තරගාවලිය සම කරයි

by sachintha
March 7, 2024 3:40 am 0 comment

දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකා පිලට කඩුලු 8ක පරාජයක්

අනවශ්‍ය ලෙස අතිරේක ලකුණු ලබාදීම සහ පන්දු රැකීමේදී සිදුවූ අතපසුවීම් හේතුවෙන් බංග්ලාදේශය සමඟ ඊයේ සිල්හෙට්හිදි පැවති දෙවැනි විස්සයි20 තරගයෙන් ශ්‍රී ලංකා පිලට කඩුලු 8ක පරාජයක් අත්විය.

මේ සමඟ තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1ක් ලෙස සම කර ගැනීමට ද සත්කාරකයෝ සමත් වූහ.

මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ලකුණු 165කින් නතර කළ බංග්ලාදේශ පිල ඕවර 18.1කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 2ක් පමණක් දැවී තිබියදීය.

තරගයේ නියමිත ඕවර 20 තුළ බංග්ලාදේශ පන්දු යවන්නන් අතිරේක ලකුණු 5ක් පමණක් ලබාදී තිබූ අතර, ශ්‍රී ලංකා පන්දු යවන්නන් වෙතින් අතිරේක ලකුණු 23ක් බංග්ලාදේශ ඉනිමට එක් වීම කැපී පෙනිණි. ඊට ‘වයිඩ්’ සඳහා ලකුණු 13ක් එක්ව තිබිණි.

ලකුණු 166ක ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි බංග්ලාදේශ ඉනිමට වේගවත් ආරම්භයක් දුන් ලිටොන් දාස් සහ සෞම්‍ය සර්කාර් පළමු කඩුල්ලට ලකුණු 68ක් එක් කළේ පන්දු 41කිනි. මතීෂ පතිරණගේ පන්දුවක් හමුවේ ඇන්ජලෝ මැතිව්ස් උඩ පන්දුවක් රැක ගැනීමෙන් සර්කාර් ලකුණු 26කට දැවී ගිය අතර, මුළු ලකුණු 83ක් වෙද්දී පතිරණට දෙවැනි කඩුල්ල හිමි කර දෙමින් දාස් ලකුණු 36කට දවා ගැනීමට නායක චරිත් අසලංක සමත් වූයේ උඩ පන්දුවක් රැක ගැනීමෙනි.

නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝ සමඟ තෙවැනි කඩුල්ලට එක්වූ තව්හිඩ් හ්‍රිඩෝයි ලකුණු 60ක නොබිඳුණු සබඳතාවක් සමඟින් බංග්ලාදේශ ජය තහවුරු කළේය. සිවුවැනි විස්සයි20 අර්ධ ශතකය ලෙස නොදැවී ලකුණු 53ක් රැස් කළ නායක ෂැන්ටෝ පන්දු 38කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් එල්ල කර තිබිණි. තව්හිඩ් පන්දු 25කින් නොදැවී ලකුණු 32ක් රැස් කළේය.

ඉනිමේ 16 වැනි ඕවරය යැවූ මතිෂ පතිරණ සිවුවැනි පන්දු යැවීමෙන් පසු ආබාධයකට ලක්වූ අතර, ඉතිරි පන්දු දෙක යවමින් මැතිව්ස් එම ඕවරය සම්පූර්ණ කළේය. කෙසේ වෙතත් ඒ වන විට පළමු තරගයේ මෙන්ම මේ තරගයේදීත් පතිරණ වයිඩ් පන්දුවලින් අතිරේක ලකුණු 9ක් ලබාදී තිබිණි.

ඊයේ පිට පිට දෙවැනි වරටත් කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ පිලේ ආරාධනයෙන් කුසල් මෙන්ඩිස් සමඟ ඉනිම ඇරඹීමට පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දුට මේ තරගයේදීත් සාර්ථක වීමට නොහැකි විය. පළමු තරගයේදී ලකුණු 4ක් රැස් කළ ඔහු ඊයේ පන්දු 7කට මුහුණ දුන්නද ලකුණු රැස් කිරීමට නොහැකි විය.

අනතුරුව එක් වූ මෙන්ඩිස් යුගලය (කුසල් හා කමිඳු) පන්දු 42කින් ලකුණු 66ක සබඳතාවක් පිහිටුවමින් ලකුණු පුවරුව 67 දක්වා ඉදිරියට ගෙන ගිය අතර, ඔවුන් දෙදෙනාම ලකුණු 10ක් තුළ පිටියෙන් ඉවත් කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නන්ට හැකි විණි. සෞම්‍ය සර්කාර්ගේ පන්දුවකට ලිටොන් දාස් වෙත උඩපන්දුවක් දෙමින් කුසල් ලකුණු 36කට දැවී ගිය අතර, ලකුණු 37ක් රැස් කර සිටි කමිඳු අවාසනාවන්ත ලෙස දුවද්දි දැවී යෑමට හසු විය. සදීර සමරවික්‍රමගේ ඉනිම ඊයේ ලකුණු 7කට සීමා කිරීමට මුස්ටෆිසූර් රහ්මාන් සමත් වූයේ ඔහු විසින්ම උඩ පන්දුවක් රැක ගැනීමෙනි. පන්දු 14කින් වේගවත් ලකුණු 28ක් රැස් කළ නායක චරිත් අසලංක මෙහෙදි හසන්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුරුව ලකුණු 112කට කඩුලු 5ක් ලෙස සටහන් විය. අනතුරුව පිටියේ එක් වූ ඇන්ජෙලෝ මැතිව්ස් සහ දසුන් ශානක පන්දු 37කින් වේගවත් ලකුණු 53ක සබඳතාවක් ගොඩනඟමින් ලකුණු පුවරුව 165 දක්වා ඉහළ නැංවූහ. මැතිව්ස් පන්දු 21කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 32ක් රැස් කළ අතර, ශානක පන්දු 18කින් ලකුණු 20ක් රැස් කළේය. දෙපිල අතර තෙවැනි සහ අවසන් විස්සයි20 තරගය ලබන 9 වැනිදා සිල්හෙට්හිදීම පැවැත්වේ.

මතභේදාත්මක තීරණයක්

තෙවැනි විනිසුරු දුන් මතභේදාත්මක තීන්දුවක් හේතුවෙන් ශ්‍රී ලංකා පිලට ඊයේ තරගයේ බංග්ලාදේශ පළමු කඩුල්ල ලකුණු 28දී දවා ගැනීමට තිබූ අවස්ථාව අහිමි වී ගියේය. නිමේ සිවුවැනි ඕවරය යැවූ බිනුර ප්‍රනාන්දුගේ පළමු පන්දුවෙන් කුසල් මෙන්ඩිස් උඩ පන්දුවක් රැක ගැනීම නිසා සෞම්‍ය සර්කාර් දැවී ගිය බවට ශ්‍රී ලංකා පිල කළ ඉල්ලීම පිටියේ විනිසුරු තහවුරු කළ ද සර්කාර් එය තෙවැනි විනිසුරු යොමු කිරීමට කටයුතු කළේය.

එහිදී පන්දුව පිත්ත පසු කිරීමත් සමඟ ශබ්ද තරංගයක් පුවරූපනවල දී දැක ගත හැකි වුවත් තෙවැනි විනිසුරු විසින් එය දැවී යෑමක් නොවන බවට තීරණය කළේය. එම තීන්දුවට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැඩි විරෝධයක් එල්ල කළ අතර, මේ හේතුවෙන් තරගය යළි ආරම්භය මිනිත්තු කිහිපයකින් ප්‍රමාද විය.

ශ්‍රී ලංකාව

අවිශ්ක ප්‍රනාන්දු ඇ. සහ ප.ටස්කින් 0

කුසල් මෙන්ඩිස් ඇ.දාස් ප.සර්කාර් 36

කමිඳු මෙන්ඩිස් දුවද්දි දැවී ගියා 37

සදීර සමරවික්‍රම ඇ. සහ ප.රහ්මාන් 7

චරිත් අසලංක ප. මෙහෙදි 28

ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 32

දසුන් ශානක නොදැවී 20

අතිරේක 5

එකතුව කඩුලු 5ක් දැවී (ඕවර 20) 165

කඩුලු බිඳ වැටීම: 1-1, 2-67, 3-77, 4-92, 5-112

පන්දු යැවීම: ඉස්ලාම් 4-1-20-0, ටස්කින් 4-0-38-1, මෙහෙදි 4-0-39-1, රහ්මාන් 4-0-42-1, හොසේන් 3-0-21-0, සර්කාර් 1-0-5-1.

බංග්ලාදේශය

ලිටොන් දාස් ඇ.අසලංක ප.පතිරණ 36

සෞම්‍ය සර්කාර් ඇ.මැතිව්ස් ප.පතිරණ 26

නජ්මුල් ෂැන්ටෝ නොදැවී 53

තව්හිඩ් හ්‍රිඩෝයි නොදැවී 32

අතිරේක 23

එකතුව කඩුලු 2ක් දැවී (ඕවර 18.1) 170

කඩුලු බිඳ වැටීම: 1-68, 2-83

පන්දු යැවීම: මැතිව්ස් 2.2-0-22-0, මධුෂංක 4-0-34-0, බිනුර 3-0-22-0, තීක්ෂණ 4-0-35-0, පතිරණ 3.4-0-28-2, ශානක 1.1-0-19-0

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT