Thursday, May 15, 2025
Home » සෑම කඩුල්ලකටම රු. 10,000යි: හැම ලකුණකටම රු. 1000ක් තෑගි බෙදයි

සෑම කඩුල්ලකටම රු. 10,000යි: හැම ලකුණකටම රු. 1000ක් තෑගි බෙදයි

by sachintha
March 7, 2024 2:42 am 0 comment

රාජකීය – සා. තෝමස් ‘නිල් මහා සටන’ අද සිට තෙදිනක් එස්එස්සී ක්‍රීඩා පිටියේදී

සාන්ත තෝමස් පිල: අසුන්ගෙන (වමේ සිට) – අභීත් පරණවිදාන, කවිඳු ඩයස්, සේනාධි බුලන්කුලමේ, මහීත් පෙරේරා (නායක), නාතන් කල්දේරා, දිනෙත් ගුණවර්ධන, ආකාෂ් ප්‍රනාන්දු, තිසන් ඇහැලියගොඩ, පළමු පෙළ (වමේ සිට): නෙතුන් විතානගේ, ඩැරියන් ඩියාගෝ, අරිත් අදිකාරම්, යටින්ද්‍ර සිරිවර්ධන, අශේන් පෙරේරා, සදෙව් සොයිසා, සචිත්‍ර ගුණසිංහ, ශනිල් පෙරේරා, මනිත් ප්‍රනාන්දු, අනුක් දේවනාරායන, චනුත් ඇහැලියගොඩ, දෙවැනි පෙළ (වමේ සිට): අවිනාශ් ප්‍රනාන්දු, මිතිල චාල්ස්, යොවෙල් වර්ණකුලසූරිය, චමාෂ් ගුණවර්ධන, අයිමන් අන්සාරි, මහීත් රාජපක්ෂ, දෙවින් ජයසූරිය, දිනෙත් පීරිස්, අන්ෂාන් ද සිල්වා

 


රාජකීය පිල: අසුන්ගෙන (වමේ සිට): අනුර ප්‍රශාන්ත (ක්‍රීඩා භාර ආචාර්ය), එල්.කේ.ඩබ්ලිව්. සිල්වා (නියෝජ්‍ය විදුහල්පති), සිනෙත් ජයවර්ධන (නායක), තිලක් වත්තුහේවා (විදුහල්පති), රමිරු පෙරේරා (උප නායක), එම්. ඒ. එම්. රියාස් (ක්‍රීඩා භාර ආචාර්ය), රොහාන් සොයිසා (ප්‍රධාන පුහුණුකරු), සිටගෙන පළමු පෙළ (වමේ සිට)- නෙත්වින් ධර්මරත්න, රනුක මලවිආරච්චි, රෙහාන් පීරිස්, බුලාන් වීරතුංග, දෙවැනි පෙළ (වමේ සිට)- යෙනුල බණ්ඩාර, තමෝද් යශෝද්‍ය, ඉසුල ගීගනගේ, අනික් ප්‍රනාන්දු, යසිඳු දිසානායක, අනුෂ් පොලොන්නෝවිට, උදන්ත ගනගේවත්ත, කුචිල රන්මඩල, තරුල් අම්පෙමොහොට්ටි, තෙවැනි පෙළ (වමේ සිට)- රයන් සුගතදාස, තෙවිඳු වේවැල්වල, ගීෂාන් පෙරේරා, කාලිඩ් රහීම්ඩීන්, ඕවන අඹන්පොල, දිනුර සේනාරත්න, ෂේන් අබේරත්න. ඡායාරූප – හර්බට් පෙරේරා

 

ශ්‍රී ලාංකේය පාසල් ක්‍රිකට් වංශ කතාවේ පැරණිතම මහා ක්‍රිකට් තරගය වන කොළඹ රාජකීය විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර, ඩී.එස්. සේනානායක අනුස්මරණ පළිහ වෙනුවෙන් පැවැත්වෙන ‘නිල් මහා සටන’ අද සිට 9 දක්වා තෙදිනක් එස්එස්සී ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.

145 වැනි වරටත් පැවැත්වෙන මේ මහා ක්‍රිකට් තරගය මෙරට ඉතිහාසයේ පළමු ‘බිග් මැච් එක’ ලෙස ඉතිහාසගතවී තිබේ. මෙරට පළමු පාසල් මහා ක්‍රිකට් තරගය 1880 වසරේ කොළඹ ගාලු මුවදොර ක්‍රීඩාංගණයේදී කොළඹ ඇකඩමි විදුහල ලෙසින් හැඳින්වූ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර පැවැත්විණි. එම තරගයෙන් ලකුණු 62ක ජයග්‍රහණයක් ලැබීමට කොළඹ රාජකීය විදුහල සමත් වූවේය. ලෝක යුද්ධයේදී හෝ කොරෝනා වසංගතයට හෝ නතර නොවූ මේ නිල් මහා සටන ලෝකයේ අඛණ්ඩව පවත්වා ඇති දෙවැනි පාසල් වාර්ෂික ක්‍රිකට් තරගය ලෙස ඉතිහාසයට එක්වේ.

ඔස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ්හි පිහිටි ප්‍රින්ස් ඇල්ෆ්‍රඩ් විදුහල සහ සාන්ත පීතර යන විදුහල් දෙක අතර 1878 වසරේ සිට පැවත එන වාර්ෂික ක්‍රිකට් මහ තරගය, ලොව මෙතෙක් දීර්ඝ කාලයක් අඛණ්ඩව පවත්වා ඇති පාසල් ක්‍රිකට් මහා තරගය වේ. 1901 සහ 1902 යන වසරවලදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරුවේ ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍යවරයා වන මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා බැවින් 1928 වසරේ සිට නිල් මහා සටනේ ශූරයන්ට ලබා දෙන පළිහ ඩී.එස්. සේනානායක ශූරතා පළිහ ලෙස නම් කළේය.

වසරින් වසර අලුත් වූ මේ මහා සටනේ මෙවර දවාගන්නා සෑම කඩුල්ලක් වෙනුවෙන්ම පන්දු යවන්නකුට රුපියල් 10,000ක මුදලක් හා පිතිකරුවෙක් ලබාගන්නා සෑම ලකුණක් වෙනුවෙන්ම රුපියල් 1000ක මුදලක් ලබාදීමට තරග සංවිධායකයෝ කටයුතු යොදා ඇත.

පසුගිය වසරේදී පැවති නිල් මහා සටනේ ජයග්‍රහණය කොළඹ රාජකීය විදුහල දිනා ගැනීමත් සමඟ රාජකීයෝ අවස්ථා 36 කදී හා සාන්ත තෝමස් ක්‍රීඩකයෝ අවස්ථා 35කදී ඩී.එස්. සේනානායක පළිහ දිනාගත්හ.

ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන, සර් ජෝන් කොතලාවල, රන්ජන් මඩුගල්ල, අසන්ත ද මැල්, ජෙහාන් මුබාරක්, කිත්රුවන් විතානගේ, කුසල් ජනිත් පෙරේරා, භානුක රාජපක්ෂ, ලසිත් ඇඹුල්දෙණිය හා චාමික කරුණාරත්න කොළඹ රාජකීය විදුහල නියෝජනය කරමින් නිල් මහා සටනට ක්‍රීඩා කර ඇත.

සාන්ත තෝමස් විදුහල නියෝජනය කරමින් මෙරට පළමු අගමැති මහාමාන්‍ය ඩී.එස්. සේනානායක, හිටපු අගමැති ඩඩ්ලි සේනානායක, මයිකල් තිසේරා, අනුර තෙන්නකෝන්, බ්‍රැඩ්මන් වීරකෝන්, දුලිප් මෙන්ඩිස්, ගයි ද අල්විස්, සාලිය අහංගම, කෞෂික් අමලීන්, කපිල විජේගුණවර්ධන, ජීවන් මෙන්ඩිස් සහ කෞෂාල් සිල්වා ක්‍රීඩා කළහ.

දකුණු අප්‍රිකාවේදී නිමාවූ වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ ගෞරවය හිමිකරගත් සිනෙත් ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් රාජකීය විදුහල් කණ්ඩායම මේ මහා තරගයට පැමිණෙන්නේ වැඩි විශ්වාසයකින් යුතුවය.

මේ තරග වාරයේදී සාන්ත පීතර විදුහල ඉනිමකින් පරාජය කළ රාජකීය විදුහල පූර්ණ ජයග්‍රහණ 3ක් වාර්තා කර ඇත. තරග 6කට පමණක් ක්‍රීඩා කර ඇති රාජකීය නායක සිනෙත් එම කණ්ඩායමේ ශතකලාභීන් පස්දෙනාගෙන් එක් අයෙක් වන අතර, යසිඳු දිසානායක, සාන්ත පීතර පිලට එරෙහිව නොදැවී ලකුණු 152ක් ඇතුළුව ලකුණු 550ක් ලබා ගත්තේය. රෙහාන් පීරිස් ලකුණු 525ක්, රමිරු පෙරේරා හා ඉසුල විතානගේ ලකුණු 400ක් ඉක්මවා සිටිති. එමෙන් ම ඔවින අඹන්පොළ, අනුශ් පොළොන්නෝවිට සහ නෙත්වින් ධර්මරත්න ද රාජකීය විද්‍යාලයේ දක්ෂ පිතිකරුවන් ලෙස දක්ෂතා දක්වා ඇත. රෙහාන් පීරිස් පසුගිය අවුරුදු 15න් පහළ ප්‍රීමා පළාත් එක්දින තරගාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස නම් කෙරුණේ අවසන් මහා තරගයේදී විශිෂ්ට ශතකයක් රැස්කර ගැනිම හේතුවෙනි.

රාජකීය උප නායක රමිරු පෙරේරා මෙවර පාසල් තරගවාරයේ දී කඩුලු 47ක් ලබා සිටින අතර, යෙනුල බණ්ඩාර, රනුක මලවිආරච්චි, දිනුර සේනාරත්න සහ නෙත්වින් ධර්මරත්න පන්දු යැවීමෙන් දස්කම් දක්වා සිටිති.

මහීත් පෙරේරාගේ නායකත්වයෙන් යුත් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය මෙවර තරග වාරයේ අපරාජිත වාර්තාවක් තබා විශාල චිත්ත ධෛර්යයකින් සිටී. මෙම තරග වාරය පුරා ඔවුහු තරග 14 කදී පූර්ණ ජයග්‍රහණ පහක් වාර්තා කර ඇත. ඔවුන්ගේ වැඩිම ලකුණුලාභියා ලෙස ශතක තුනක් ඇතුළුව ලකුණු 800ක් රැස් කර ඇති නායක මහීත් ඉදිරියෙන් සිටී. සෙසු ශතකලාභීන් දෙදෙනා වන්නේ ලකුණු 600කට වඩා රැස්කර ඇති තිසන් ඇහැලියගොඩ සහ ලකුණු 500කට වඩා රැස්කළ දිනෙත් ගුණවර්ධනය.

පන්දු යැවීමේදී කඩුලු 60කට අධිකව දවාගෙන ඇති අභීත් පරණවිදාන ඉදිරියෙන් සිටී. කවිඳු ඩයස්, නේතන් කල්දේරා, යටින්ද්‍ර සිරිවර්ධන සහ ආකාෂ් ප්‍රනාන්දු යන පන්දු යවන්නන් සිවුදෙනා ප්‍රතිවාදීන්ට තර්ජන ගෙනදීමට සමත්වූවෝ වෙති.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT