ගුවන් හමුදාව සංවිධානය කරන “Air Tattoo” අධ්‍යාපනික හා තාක්ෂණික ප්‍රදර්ශනය නැරැඹීම සඳහා අතිවිශාල ජනතාවක් සහභාගි වී තිබෙන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා 73 වැනි සංවත්සරයට සමගාමීව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව සංවිධානය කරනු ලැබු ගුවන් හමුදා “Air Tattoo” අධ්‍යාපනික හා තාක්ෂණික ප්‍රදර්ශනයේ දෙවැනි දිනය වූ ඊයේ (07) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් විවෘත කිරීම සිදුවිය.
මෙම ප්‍රදර්ශනයේ පළමු දිනය වූ පෙරේදා (06) දින හා ඊයේ දිනයේ විශාල ජන සහභාගිත්වයක් පැවැති අතර විශේෂයෙන්ම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ වැඩි සහභාගිත්වයක් දැකගන්නට හැකි විය.
උතුරු පළාතේ දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ගුවන් යානා තාක්ෂණය පිළිබඳව පැවැත්වෙන පළමු අධ්‍යාපනික ප්‍රදර්ශනය මෙය වන අතර උතුරු පළාත තුළ ගුවන් හමුදාව විසින් පවත්වනු ලබන පළමු ගුවන් යානා සංදර්ශනය මෙන්ම පැරිෂුට් සංදර්ශනය මෙය ලෙස ඉතිහාසයට එක්වෙයි.
මෙම අධ්‍යාපනික හා තාක්ෂණික ප්‍රදර්ශනයේ දී ගුවන් හමුදාව විසින් ඉදිරිපත් කරනු ලබන සරඹ සංදර්ශන, ගිනි නිවීමේ නිදර්ශනාත්මක සංදර්ශන, හදිසි මුදා ගැනීම් පිළිබඳ නිදර්ශනාත්මක සංදර්ශන, සුනඛ සංදර්ශන ඇතුළු විශේෂාංග රැසක් ඉදිරිපත් කිරීමට නියමිත අතර සන්ධ්‍යාවේදී වෙෙළඳ ප්‍රදර්ශනයක් ඇතුළුව සියලු දෙනාගේම විනෝදාස්වාදය වෙනුවෙන් සංගීත ප්‍රසංග ඇතුළු ක්‍රියාකාරකම් රැසක් ඉදිරිපත් කිරීමට ද නියමිතව ඇත.
මාර්තු මස 10 වැනි දින දක්වා උදෑසන 10.00 සිට රාත්‍රී 10.00 දක්වා මෙම අධ්‍යාපනික හා තාක්ෂණික ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිත අතර යාපනයේ විශ්වවිද්‍යාලවල, යාපනයේ ශාඛාවන් පිහිටා ඇති පෞද්ගලික විශ්වවිද්‍යාල, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ යාපනය ශාඛාව, යාපනය කාර්මික හා වානිජ මණ්ඩලයට අයත් ව්‍යාපාරික ආයතන රජයේ කෘෂිකාර්මික හා තාක්ෂණික ආයතනයන්හි සහභාගිත්වයෙන් ප්‍රදර්ශන කුටි 200කට අධික ප්‍රමාණයක් ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබේ.
පාසල් නිල ඇඳුමින් පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මෙම අධ්‍යාපනික හා තාක්ෂණික ප්‍රදර්ශනය නොමිලේ නැරඹීමේ අවස්ථාව ද ගුවන් හමුදා විසින් සලසා දී ඇත.

අනාගතයේ යම් දිනෙක ගුවන් නියමුවරියක් වීමේ අපේක්ෂාවෙන් පසුවන යාපනයේ පාසල් දියණියක් ඊයේ (07) පෙරවරුවේ යාපනය, මුට්‍රවේලි ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන “Air Tattoo” අධ්‍යාපනික හා තාක්ෂණික ප්‍රදර්ශනය නැරැඹීමට පැමිණි අවස්ථාවේ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවී තම අනාගත අපේක්ෂාව පැවැසුවාය. එම අවස්ථාවේ දී ගුවන් හමුදාපතිවරයා අතින් එම දියණියට ගුවන් යානා සිහිවටනයක් පිරිනැමූ අයුරු. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද මෙහි වෙයි.
ඡායාරූපය – ගුවන් හමුදා මාධ්‍ය ඒකකය