ශ්‍රී ලාංකේය පාසල් ක්‍රිකට් වංශ කතාවේ පැරණිතම මහා ක්‍රිකට් තරගය වන කොළඹ රාජකීය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් අතර, ඩී.එස්. සේනානායක අනුස්මරණ පලිහ වෙනුවෙන් ඊයේ ආරම්භ වූ 145 වැනි ‘නිල් මහා සටනේ’ පළමු දිනය නිමාවෙද්දී මුලින් පන්දුවට පහරදුන් සාන්ත තෝමස් විදුහල සියලු දෙනා දැවී ලකුණු 297ක් ලබා ගත්තේය. ආරම්භක පිතිකරු සදෙව් සොයිසාගේ හා දිනෙත් ගුණවර්ධනගේ අර්ධ ශතක දෙකෙන් වර්ණවත්වූ සාන්ත තෝමස් ඉනිම ඕවර 88.2ක් තුළ ක්‍රියාත්මක විය.
කොළඹ එස්එස්සී පිටියේ පැවැත්වෙන මේ තරගයේ කාසියේ වාසිය දිනූ රාජකීය විදුහල මුලින් පන්දුවට පහර දීමට සාන්ත තෝමස් පිලට ආරාධනා කළ අතර, එහිදී ආරම්භක පිතිකරු සදෙව් සොයිසා පන්දු 134කට මුහුණදී හතරේ පහර 11ක් සමඟ ලකුණු 83ක් වාර්තා කළේය. අංක 3 පිතිකරු දිනෙත් ගුණවර්ධන පන්දු 114කදී හතරේ 8ක් සමඟ ලකුණු 50ක් ලබා ගැනීමට සමත් විය.
රාජකීය විදුහලේ පළමු කඩුල්ල ලකුණු 66දී බිඳ වැටුණු අතර, අනතුරුව සොයිසා හා ගුණවර්ධන එක්ව දෙවැනි කඩුල්ලට පන්දු 88කදී ලකුණු 66ක සබඳතාවක් එක් කිරීමට සමත් වූහ. නෙතන් කල්දේරා පන්දු 59කදී හතරේ පහර 5ක් සමඟ ලකුණු 44ක් ලබාගනිද්දී ප්‍රදර්ශනාත්මක ඉනිමක් ක්‍රියාත්මක කළ අකාශ් ප්‍රනාන්දු හයේ 2ක් හා හතරේ 2ක් සමඟ ලකුණු 29ක් එක් කළේය.
දිවා විවේකය සදහා තරගය නතර කරද්දී සාන්ත තෝමස් විදුහල කඩුලු 1ක් දැවී ලකුණු 97ක් ලබා සිටි අතර, රාජකීය ක්‍රිකට් නායක සිනෙත් ජයවර්ධන හා රමිරු පෙරේරා කඩුලු 4 බැගින් බිඳ හෙළා සාන්ත තෝමස් පිලට තර්ජනයක් වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස සාන්ත තෝමස් විදුහලේ අවසන් කඩුලු 5ක් ලකුණු 11ක් තුළදී දවා ගැනීමට රාජකීය විදුහල සමත් වූවේය.
රාජකීය විදුහල පළමු ඉනිම ආරම්භ කරන තරගයේ දෙවැනි දිනයේ අදයි.
සාන්ත තෝමස් පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 297 (ඕවර 88.2)
සේනාධි බුලන්කුලම 13, සදෙව් සොයිසා 83, දිනෙත් ගුණවර්ධන 50, මහීත් පෙරේරා 36, චනුත් ඇහැලියගොඩ 16, ආකාෂ් ප්‍රනාන්දු 29, නාතන් කල්දේරා 44, අතිරේක 15 (රනුක මලවිආරච්චි 51/1, රමිරු පෙරේරා 55/4, සිනෙත් ජයවර්ධන 68/4, නෙත්වින් ධර්මරත්න 15/1)
ඡායාරූප සුදත් නිශාන්ත