මෙරට දළ නිල සංචිත ප්‍රමාණය පසුගිය ජනවාරි මාසයේ අවසානය වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 4,500ක් දක්වා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මේ නිල සංචිත වත්කම් තුළ චීන මහජන බැංකුවෙන් ලද ඩොලර් බිලියන 1.4ක අගයකට සමාන විනිමය හුවමාරු පහසුකමද අන්තර්ගත වෙයි.
මේ අතර පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතමින් පැවසුවේ, මේ වන විට භාවිත කළ හැකි විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3 සීමාව ඉක්මවා ඇති බවයි. “2022 වසරේ අප්‍රේල් මස මැද භාගයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 20 ට වඩා අඩු අගයක පැවැති, භාවිතා කළ හැකි විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3 කට වඩා වැඩි අගයකට ඉහළ නැංවී තියෙනවා” යනුවෙන් ජනාධිපතිවරයා එහිදී පැවසීය.
මහ බැංකුව විසින් ශුද්ධ පදනම මත දේශීය විදේශීය විනිමය වෙළෙඳපොළෙන් සැලකිය යුතු ලෙස විදේශ විනිමය මිල දී ගැනීම දළ නිල සංචිත ඉහළ යෑමට ප්‍රධාන හෙතුව බව මහ බැංකුව පෙන්වා දෙයි. සමස්තයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ ජනවාරි මාසයේදී ශුද්ධ පදනම මත එක්සත් ජනපද ඩොලර් මිලියන 245ක් පමණ මිල දී ගෙන ඇත.