Home » බයිිඩන් ට්‍රම්ප් ජනපති සටනට?

බයිිඩන් ට්‍රම්ප් ජනපති සටනට?

by damith
March 9, 2024 1:20 am 0 comment

රජිත බස්නායක

අමෙරිකා එක්සත් ජනපදය හැමදාමත් උන්නේ ලෝකයේ ඉහළම තැනක වැජඹෙමිනි. ඔවුනට අන් සියල්ලන්ටම වගේ තම බලය පෙන්වන්නට හැකියාවක් ලැබී තිබුණේ ආර්ථිකයේ පවතින බලසම්පන්නභාවය හේතුවෙනි. ඕනෑම වසරක ආර්ථික වර්ධන වේගය, කවර රටක ඉහළින්ම පැවතුණ ද හැමදාමත් කවුරුත් කතා වන්නේ අමෙරිකාව පිළිබඳවය. මන්ද මහා බලසම්පන්න ආර්ථිකයක් හා යුද ශක්තිය අතින් ද ඔවුන් ඉහළ ස්ථානයක වැජඹෙනා බැවිනි. කාලයෙන් කාලයට මාතෘකා මතු වී එන්නා සේ පසුගිය සතියේ විදෙස් මාධ්‍ය වැඩි වශයෙන් පුවත් ඉදිරිපත් කර තිබුණේ අමෙරිකාව සම්බන්ධයෙනි. එයට එක් හේතුවක් වූයේ ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව ඔවුන් හමාස් සංවිධානය සමඟ සටන් විරාමයකට එළඹිය යුතුය යන්න ජෝ බයිඩ්න් සඳහන් කිරීමත් සමඟය. අනෙක් කරුණ වන්නේ ඊට දින කිහිපයකට පසු ගාසා තීරයට පැරෂුට් මඟින් ආහාර ද්‍රව්‍ය මුදාහැරීමය. මේ කරුණු දෙකම ජාත්‍යන්තරයේ කතා වුවද සියල්ල මේ ආකාරයෙන් සිදුවන්නේ ජෝ බයිඩ්න් ගේ ඉදිරි ජනාධිපතිවරණ කටයුතුවලට යහපත් මතයක් ඇතිකර ගැනීම වෙනුවෙන් බව කතා නොවුණා ද නොවේ. එහෙත් මේ සියල්ල පරයා මූලිකත්වයක් දෙනු ලැබුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් තේරීමේ සටනටයි. මේ සඳහා ඉදිරිපත් වන කැපී පෙනෙනම චරිත දෙක වන්නේ වර්තමාන අගමැති ජෝ බයිඩ්න් සහ මහත් ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයකටම මැදි වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ය.

අමෙරිකා එක්සත් ජනපදයට මේ වසර ආරම්භ වූයේ 2024 යනු ජනාධිපතිවරණ මැතිවරණය පැවැත්වීමේ වසර යනුවෙනි. අන් රටවලට කෙසේ වෙතත් අමෙරිකාව විසින් ලෝකයේ අනෙකුත් රටවලට කළ කී දෑ ද මෙම ජනපති අපේක්ෂකයන් කෙරෙහි ඍජුවම බලපානු ලබන බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙයින් මෙවර ද එය ඒ ආකාරයෙන්ම සිදුවේ දැයි යන්න දැකබලා ගත හැකිවන්නේ මැතිවරණ ප්‍රතිඵලයන්ගෙන් පසුවය. මෙවර මැතිවරණ ප්‍රතිඵල විශේෂත්වයක් ගනු ඇතැයි බොහෝදෙනා ප්‍රකාශ කරනු ලබන්නේ ගාසා තීරයට ඊශ්‍රායලය විසින් පහරදීම වෙනුවෙන් ඍජුවම අමෙරිකාව ද පක්ෂපාතිත්වයක් දක්වන ලද හෙයිනි.

අපේක්ෂකයන් තෝරා ගැනීම

ජනාධිපතිවරණය පැවැත්වීමටත් පෙර සිටම අමෙරිකා එක්සත් ජනපදය උණුසුම් වූයේ අපේක්ෂකයන් තෝරාගැනීමේ නාමයෝජනා භාරදීමත් සමඟිනි. මෙය වඩාත් උණුසුම් වූයේ තම තමන්ගේ පක්ෂයන් තුළම සිදුවන ඡන්ද සටනක් හෙයිනි. එහෙයින් වර්තමාන ජනාධිපතිවරයා වන ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා ලෙසින් ජෝ බයිඩ්න් ඉදිරිපත් කිරීමට එම පක්ෂය විසින්ම තීරණය කිරීම හේතුවෙන් එම පක්ෂයෙන් වෙනත් කවර හෝ ප්‍රබල මට්ටමේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ඔවුන් බලාපොරොත්තු නොවුණි. එහෙත් රිපබ්ලිකන් පක්ෂයේ තීරණය පැවැතියේ වෙනස්ම ආකාරයෙනි. හිටපු ජනාධිපතිවරයකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම තවත් අපේක්ෂකයන් කිහිපදෙනෙකුම ඉදිරිපත් කිරීමට ඔවුන් තීරණය කර තිබුණි. මේ සඳහා අපේක්ෂකයින් පස්දෙනෙකු ඉදිරිපත් කර තිබූ අතර, ඉන් පෙර තවත් අපේක්ෂකයින් අටදෙනෙකු ද මේ සඳහා ඉල්ලුම් කර තිබුණි. නමුත් අවසානයේ ඡන්ද ප්‍රතිඵල වෙනුවෙන් ඉදිරිපත්ව සිටියේ අපේක්ෂකයින් පස්දෙනෙකු පමණි. ඒ අතරින් එකම කාන්තාව වූයේ 1972 ජනවාරි මස උපත ලද Nikki Haley ය. 52 හැවිරිදි ඇය 2011 – 2017 කාලය තුළ දකුණු කැරොලිනා හි ආණ්ඩුකාරවරිය වූ අතර 2017 – 2018 කාලයේදී එක්සත් ජාතීන්ගේ තානාපතිනිය ලෙසින් ද කටයුතු කළාය. මෙවර අපේක්ෂක සටනේදී නිකි හාලේ වොෂින්ටනයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් පරදවා ජයග්‍රහණය කිරීමට සමත් විය. එහිදී ඇය 62%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් අතර ට්‍රම්ප්ට ලැබී තිබුණේ 33%ක පමණ ඡන්ද ප්‍රතිශතයකි. ඇය එසේ ධවල මන්දිරය වෙත හෙමි හෙමින් ගමන් කරමින් සිටියාය. කෙසේ වෙතත් සියලුදෙනාටම තීරණාත්මක දිනය වෙමින් පැවැතියේ පසුගිය අඟහරුවාදා දිනයයි. එය හඳුන්වා ඇත්තේ Super Tuesday යනුවෙනි. මන්ද වෙනත් දිනවල මෙන් නොව 5 වැනි අඟහරුවාදා එකවර ප්‍රාන්ත 15ක පමණ අපේක්ෂකයින් තෝරාගැනීම වෙනුවෙන් සිදු කරනු ලබන මැතිවරණයන් පැවැත්වූ හෙයිනි. බොහොමයක් ප්‍රාන්ත ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවේ එදිනයි. බදාදා දිනය වන විට රිපබ්ලිකන් පිලේ නිකි හේලි තම මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කළාය. ඇය එදින තම සියලු ප්‍රචාරක කටයුතු ද නවතා දැමුවාය. ඇය අමෙරිකාවේ ජනාධිපති වන ඕනෑම අයකුට සුබ පතනා බව ද අවසානයේ සඳහන් කර සිටියාය.

මේ අනුව ජෝ බයිඩ්න් සමඟ ජනාධිපති තරගයට අපේක්ෂකයකු වශයෙන් තරග කිරීමේ සටනට ඩොනල්ඩ් ට්‍රම්ප් වඩාත් ළංවෙමින් සිටින්නේ නිතැතින්ම සටනේ අපේක්ෂකයන් දෙදෙනා ඔවුන් බවට ඉඟි කරමිනි. මේ අතර ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා වන ජෝ බයිඩ්න් සමඟ තවත් අපේක්ෂකයකු හා අපේක්ෂිකාවක් ඉදිරිපත්ව සිටියහ. ඇය 71 හැවිරිදි Marianne Williamson ය. තවත් එක් අපේක්ෂකයකු ආරම්භයේදීම ඉවත්ව ගියේය.

ජෝ බයිඩ්න්

වියපත්ම එක්සත් ජනපද ජනපතිවරයා වන්නේ ජෝ බයිඩ්න්ය. ඔහු පවසන්නේ ඉදිරි වසර හතරක කාලයේදී ද තමා එක්සත් ජනපදය පාලනය කිරීමට සුදුසු බවත් තමාට වඩා වයස අවුරුදු හතරකින් බාල ට්‍රම්ප්ට වඩා තමා තනතුරට සුදුසු බවත්ය.

කෙසේ වෙතත් රොයිටර් පුවත් සේවයේ සඳහන්ව ඇත්තේ ඔහුගේ නැවත පත්වීම ආර්ථිකයට ද බලපානු ලබන බවත් ආර්ථික විද්‍යාඥයින් බලාපොරොත්තු වූ ආකාරයට වඩා වේගයෙන් ආර්ථික වර්ධනයක් සිදුවූ බවත්ය. එමෙන්ම එක්සත් ජනපද කාර්මික අංශ ඉහළ නැංවීම සඳහා බයිඩ්න් දැවැන්ත ආර්ථික උත්තේජනයක් පවා ගෙනහැර පෑ බවයි. එහෙත් මේ දක්වා ඡන්ද දායකයන්ගෙන් ඔහුට ලැබී ඇති පිළිගැනීම අඩු බවත් සඳහන් කර තිබුණි. මේ වන විට බයිඩ්න්ගේ සංක්‍රමණික ප්‍රතිපත්ති හැසිරවීම සම්බන්ධයෙන් රිපබ්ලිකන් පාක්ෂිකයන් මෙන්ම ඩිමොක්‍රටික් පාක්ෂිකයන් ද විවේචනයට ලක්කර තිබේ.

කොයිහැටි වෙතත් ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීමේදී ලෝක මාධ්‍යයන් සඳහන් කරනු ලැබුවේ මින් වඩා අලාභ හානිය වන්නේ අන් කවරකුටවත් නොව දේශපාලනික වශයෙන් ජෝ බයිඩ්න්ට බවයි. මන්ද අමෙරිකාව, ඊශ්‍රායල ගාසා තීරයට ප්‍රහාර එල්ල කරද්දීත් ඒ සම්බන්ධයෙන් නිහඬව සිටීම මෙන්ම ඒ සඳහා ආධාර කිරීම හේතුවෙනි. එය අමෙරිකානුවන්ගේ පවා දෝෂදර්ශනයට ලක්ව තිබිණි. මේ ආදී හේතූන් නිසා ලබන නොවැම්බරයේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ඔහුගේ ඡන්ද සංඛ්‍යාව පවා අඩුවිය හැකි යයි බොහෝදෙනෙක් සඳහන් කර සිටියහ. එහෙත් පසුගියදා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමීක්ෂණයක් ඇසුරින් ලබාගත් දත්තයන්ගෙන් ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ ගාසා තීරයට පහරදීම සම්බන්ධයෙන් අමෙරිකානුවන්ගෙන් වඩාත් විරෝධතාවක් පැන නැඟී නොමැති බවයි. එනම් නෙතන්යාහුගේ එම ප්‍රකාශය සත්‍යයක් නම් ජෝ බයිඩ්න්ට ද තම ඡන්ද ප්‍රතිශතය පිළිබඳව දුක්ඛ දෝමනස්සයන් ඇතිකර ගැනීමට තරම් කරුණු තිබෙන්නට හැකියාවක් නැත.

ඩොනල්ඩ් ට්‍රම්ප්ට තම ජනපති සේවා කාලයෙන් නිරන්තර ගමන් බිමන් පැවතියේ උසාවිය වෙතය. කාන්තා අපයෝජනය මෙන්ම මූල්‍යමය දෝෂණය සම්බන්ධයෙන් ද ඔහුට පැටවී තිබුණේ සුළු පටු වැරදි නොවේ. එහෙත් ඒ සමයේදී මෙන්ම වර්තමානයේදී ද ට්‍රම්ප්ගේ නීතිවේදීන් පවසා සිටින්නේ මෙබඳු ක්‍රියාදාමයන් සිදු වන්නේ දේශපාලනික අරමුණු අරඹයා මිස අන් කිසිවක් නිසා නොවන බවයි. කොයි හැටි වෙතත් රොයිටර් පුවත් සේවය සඳහන් කරන්නේ තවත් වසර 4ක් සඳහා ඔහු බලයට පත්වුවහොත් තම දේශපාලනික සතුරන්ගෙන් පළිගන්නා බවට ඔහු සපථ කර ඇති බවයි. ට්‍රම්ප් ප්‍රකාශ කරන අයුරින් සෞඛ්‍ය රක්ෂණය සම්බන්ධයෙන් සහ දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සඳහා බයිඩ්න් පරිපාලනයේ හරි හමන් ක්‍රමවේදයක් නොමැති බව පවසන අතර, තමා සතුව නිවැරැදි ක්‍රමවේදයන් ඇති බවත් බයිඩ්න් පරිපාලනයේ බොහෝ දෑ අවලංගු කිරීමටත් තමා පොරොන්දු වන බවත්ය.

නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන් සැරසෙන්නේ ඒ ආකාරයටය. කවුරු හෝ වේවා වේලාසන ඇඳුම මසාගත්ත ද ධවල මන්දිරයට මාවත සකස් කර දෙන්නේ අමෙරිකාවේ මහජනයායි. ඉතින් හිම වැටෙන නොවැම්බරය කොතෙක් උණුසුම් වේද යන්න තීරණය කරනුයේ ද එරට මහජන ඡන්දයයි. එතෙක් මාස කිහිපයක් බලා සිටීමට සිදුවනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT