කාන්තාවන්ගේ අයිතිවාසිකම් ගැන කතා කිරීම කතාවට පමණක් සීමා නොකර ඒ සඳහා අවශ්‍ය නීති ගෙන ආ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ‘ඇයට ශක්තිය – දැයට ප්‍රගතිය’ යන තේමාව යටතේ ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම නිමිත්තෙන් ඊයේ (08) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති උත්සවයක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.
ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමේ දී අපේ රටේ සිදු වන්නේ උත්සවයක් පවත්වා කාන්තා අයිතිවාසිකම් පිළිබඳ කතා කර නැවත නිවෙසට යෑමයි. වාර්ෂිකව එය සිදු වෙනවා. නමුත් මෙවර එහි වෙනසක් සිදුව තිබෙනවා. මෙම කාන්තා හඬ නැඟීම ක්‍රියාත්මක කිරීමට අප තීරණය කර තිබෙනවා. පසුගිය වසරේ මම පාර්ලිමේන්තුවේ කාන්තා සංසදය මුණගැසුණු අවස්ථාවේ කාන්තාවන් වෙනුවෙන් අවශ්‍ය පනත් සකස් කරදෙන ලෙස දන්වා සිටියා. ඒ අතරින් වැදගත්කම පනත් දෙකක් දැන් සකස් කර තිබෙනවා. ඉන් එකක් නම් කාන්තාවන් සවිබල ගැන්වීමේ පනතයි. ඒ සඳහා වෙනම කොමිෂන් සභාවක් පත් කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යන්ත්‍රණය හඳුන්වා දීම මඟින් කාන්තාවන්ගේ අභිවෘද්ධිය සහ සවිබල ගැන්වීම සඳහා විධිවිධාන සැලැස්වීම එහි අරමුණ වෙනවා. ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේදී එය විෂයභාර ඇමැතිවරයා විසින් මෙම කොමිසමට භාරදීම සිදු වෙනවා.
මෙම කෙටුම්පත පෙරේදා (7) අප ගැසට් මඟින් නිවේදනය කළා. ඒ වගේම එළැඹෙන සතියේ තවත් කෙටුම්පතක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරනවා. ඒ තමයි ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත. මේ මඟින් කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන අතර සමාජ, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික සහ තාක්ෂණික ප්‍රතිපත්ති සකස් කිරිමේදී ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සහ සමානාත්මතාවය පිළිබඳ මූලධර්ම ස්ථාපිත කිරීම සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සිදු වෙනවා. ඒ වගේම විෂය භාර ඇමැතිවරයාගේ බලතල සමඟ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ සභාවක් පිහිටුවීමට ද කටයුතු කෙරෙනවා. ඒ වගේම ස්ත්‍රී පුරුෂ තැනැත්තන් පිළිබඳ කේන්ද්‍රස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන අතර, එම ආයතනය මඟින් අමාත්‍යාංශ මට්ටමින් ඉදිරිපත් වන ප්‍රශ්න විසඳා ගැනීමට ද හැකියාව ලැබෙනවා.
මෙම සියලු කටයුතු ක්‍රියාත්මක කළ විට කාන්තාවන් වෙනුවෙන් ශක්තිමත් ආයතන දෙකක් ඇති වෙනවා. දැන් කාන්තාවන්ගේ අයිතිවාසිකම් කතාවට පමණක් සීමා කළ යුතු නැහැ. ඒ සඳහා අවශ්‍ය නීති ගෙන ආ යුතුයි. වසර ගණනාවක් අප එය සිදු කළේ නැහැ. අද අපි එම වැඩකටයුතු කරගෙන යනවා. මේ පිළිබඳ අනෙක් කණ්ඩායම් සමඟ සාකච්ඡා කර තවත් සංශෝධන අවශ්‍ය නම් දැනුම් දීමට මම පාර්ලිමේන්තුවේ කාන්තා සංසදයට භාර දෙනවා. අප්‍රේල් අවුරුදු සමයෙන් පසුව අපට එම සංශෝධන දැනුම් දිය යුතුයි. පසුව මැයි මාසයේදී මෙම පනත් කෙටුම්පත් දෙක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
මෙතනින් එම කටයුතු අවසන් වන්නේ නැහැ. අප හඳුන්වාදුන් මෙම පනත් දෙක අපේ කලාපය තුළ හඳුන්වා දී තිබෙන්නේ පළමුවරටයි. දකුණු ආසියාවේ වෙනත් රටක මෙවන් පනත් ක්‍රියාත්මක වනු ඇතැයි මම සිතන්නේ නැහැ. ඉන් පසුව ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගන්නා අයවැයකරණය ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා. දැනටමත් එය සකස් කර තිබෙන අතර භාණ්ඩාගාර ලේකම්වරයා සමඟ සාකච්ඡා කර එම කෙටුම්පතත් ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙය ආසියාව තුළ සිදුවන්නේ පළමුවරටයි. මෙය දැනට සිදු කර ඇත්තේ කැනඩාව ඇතුළු රටවල් දෙක තුනක පමණයි.
කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය වැළැක්වීම පිළිබඳ මම විපක්ෂ නායකවරයාව සිටියදී වාර්තාවක් සකස් කළා. අප 2018 වසරේදී මෙය ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර තිබුණ ද එය කිරීමට නොහැකි වුණා. ඉන්පසුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සමඟ එම කටයුතු ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. පාර්ලිමේන්තුවේ කාන්තා සංසදය කැඳවා මේ පිළිබඳවත් සාකච්ඡා කර තවත් සංශෝධන අවශ්‍ය නම් ඒ සමඟ මෙම නීතිය ගෙන ඒමටත් අප පියවර ගන්නවා. මේ තමයි අප කාන්තාවන් වෙනුවෙන් ගෙන ඇති මූලික පියවර. මීට අමතරව තාවකාලික කාන්තා රැකවරණ මධ්‍යස්ථාන සඳහා වන ජාතික මාර්ගෝපදේශය ඉදිරිපත් කිරීමට අද කටයුතු කර තිබෙනවා. ඊට අමතරව ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් අයවැයකරණය ද ඉදිරියේදී ගෙන ඒමට කටයුතු කරනවා. දිවයින පුරා සෑම පොලිස් ස්ථානයකම කාන්තා හා ළමා කටයුතු ඒකකයක් ස්ථාපිත කර ඒ සඳහා පොලිස් නිලධාරීන් පුහුණු කිරීමත් සිදු කරනවා.
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය – ගැහැණියක් අතිශයින්ම වැදගත් භූමිකාවක් ලෝකය මත මවනවා. අපි දන්නවා එම කාන්තාව අපි සමරන එක දිනයක් නොවෙයි , දින 365 ම ඔවුන් වෙනුවෙන්, ඔවුන්ට නිසි ගෞරවය ලබා දෙන්නට, ඔවුන්ට ශක්තියක් වන්නට, ඔවුන්ට ඔවුන්ගේ ජීවිතය පරමාදර්ශී කර ගන්නට, ඔවුන්ට දෙපයින් නැඟී සිටින්නට අවශ්‍ය ඒ සියලු ශක්තිය අප ලබා දිය යුතුයි. සෑම කාන්තාවක්ම තමන්ගේ දෙපයින් තමන්ගේ ආර්ථිකය, තමන්ගේ ජීවිතය පටන් ගන්නාතාක් කල් යටත්ව ජීවත් වන්නට සිදු වන බව රහසක් නොවෙයි.
අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය බලනකොට කාන්තාවන්ගෙන් තමයි විශ්වවිද්‍යාල 90%ක් පමණ පිරී පවතින්නේ. ඉහළම ක්ෂේත්රයන් දක්වා අපේ රටේ කාන්තාව ගමන් කර සිටිනවා. අගමැති, ජනාධිපති ධුරවලින් පමණක් අපට සෑහීමකට පත් වෙන්න බැහැ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ අංශ සිසාරා ඔවුන් යනවා. විශ්වවිද්‍යාලයෙන් පසු සමහර කාන්තා ජීවිත නවතිනවා. ඔවුන්ට ඉදිරියට යෑමට තිබෙන අවස්ථා බොහෝ විට විවාහයත් සමඟ අහිමි වෙනවා. විවාහය, දරුවන් ලැබීම සහ අම්මා කෙනකුගේ භූමිකාව මිල කළ නොහැකියි. සෑම කාන්තාවක්ම උදෑසන අවදි වෙලා සැමියාට, දරුවන්ට ආහාර සකස් කරලා නිවෙසේ සියලුම වැඩ කරනවා. නමුත් ඇයට වේතන ලැබෙන්නෙ නැහැ.
ඒ වගේම අපේ රටේ අපි මේ තේමාව තෝරා ගත්තේ කාන්තාවන්ගෙන් රටට වැඩිම විදේශ විනිමයක් ලැබෙනවා. ඒක අපේ රටට ලොකු දෙයක්. ඒ වගේම කාන්තාවන් සෑම කෘෂිකර්ම ආයතනයකම ඉන්නවා. මේ කාන්තාවන් සියල්ලම හැම අංශයකින්ම වැඩ කරන ගමන් උපයනවා. ආනයනය කරන ඇඟලුම් ක්ෂේත්‍රයේ කාර්යන් සියල්ලම වගේ කාන්තාවන් කරන්නෙ. එහෙම නම් 52%ක් කාන්තාවන් මේ රටට ශක්තිය ලබා දෙන කාන්තාවන් බව මේ දිනයේ ඉතාම ආඩම්බරයෙන් කියන්න පුළුවන්. නමුත් දේශපාලනයේදී 6%ක් වගේ බොහොම සුළු ප්‍රමාණයක් තමයි කාන්තාවන් ඉන්නෙ. ඒ ගැන නම් කනගාටු වෙනවා. සියලුම පක්ෂ ගත්විටත් පාර්ලිමේන්තුවේ ඉන්නේ 13ක් පමණයි. මම හිතන්නේ අපි අනාගතයේදී ඒ ප්‍රතිශතය වැඩි කරන්න ඕනේ. කාන්තා ශක්තිය හරියට යෙදෙව්වොත් දේශපාලනයෙන්, ආර්ථිකයෙන් වගේම සෑම පැත්තකින්ම අපේ රටේ අනාගතය විසඳන්න පුළුවන් වෙනවා.
කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ආචාර්ය අනූෂා එදිරිසිංහ මහත්මිය – ශ්‍රී ලංකාවේ කාන්තා ප්‍රජාව වෙනුවෙන්, ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් අපි බලාපොරොත්තු වූ අපේ සිහිනයක් අද දවසේ සැබෑ කර ගන්නට අපිට හැකියාව ලැබුණා. ඒ පිළිබඳව වඩාත් සතුටු වෙනවා. වර්තමානයේ අපේ රට මුහුණදී සිටින ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද කාන්තාවන්ගේ අභිමානය, ගෞරවය සහ ශක්තිය පිළිඹිබු කරමින් ඇය වෙනුවෙන් ආයෝජනය කරන්න යන තේමාව යටතේ කාන්තා දිනය මෙවර සමරනු ලැබීම පිළිබඳව අතිශයින්ම සතුටට පත් වෙනවා. නමුත් කාන්තාවන්, ගැහැනු දරුවන් මුහුණ දෙන ගැටලු සහ අභියෝග ගැන කතා කිරීම එක් දිනයකට සීමා නොකොට ඒ සඳහා විසඳුම් සෙවීම පිළිබඳව අපේ අවධානය වැඩි වැඩියෙන් යොමු කළ යුතුයි.
එයට හේතුව කාන්තාවන්ගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවය ඉහළ අගයක් ගෙන තිබීමයි. මේ වන විට රටේ සංවර්ධනය වෙනුවෙන්, අධ්‍යාපනය, පරිපාලනය, ක්‍රීඩා, කලා ඇතුළු විවිධ විෂය ක්ෂේත්‍ර තුළ සිය අනන්‍ය ලකුණ සටහන් කරමින් පෙරටුගාමී භූමිකාවක් නිරූපණය කරමින් කාන්තාවන් රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 29%කට සෘජු දායකත්වයක් ලබා දෙන බවට විවිධ සමීක්ෂණ සාක්ෂි දරනවා. එහෙත් සංස්කෘතික හා සාම්ප්‍රදායික රාමුවක් තුළ සිරගත කර සිටින ආසියානු කාන්තාවන් බහුතරයකට මෙන් අපේ කාන්තාවන්ටත් තවදුරටත් ලෝකය එකම ගමක් ලෙස දැකීමට හැකියාවක් ලැබී නැහැ.
අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා – තිරසර සංවර්ධන ඉලක්ක 16න් අංක 5 යටතේ කාන්තා හා පුරුෂ අසමානතාවය ඉවත් කිරීමට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ලංකාව වගේ රටක් ගත්තොත්, ලංකාවේ කුමන ජන කොටසකට අයත් වුවත් නිවෙසක මව තමයි සියලු පාලන කටයුතු භාර අරගෙන කරන්නෙ. ඒ වගේම අපේ රටේ අද තියන තත්ත්වය ගත්තොත් සහ අධ්‍යාපන ක්ෂේත්‍රය, පරිපාලන ක්ෂේත්‍රය, ගුරු උපදේශක සේවය, විදුහල්පත් සේවය, ගුරු සේවය වගේ සෑම දෙයකම 75%කට වඩා වැඩි පිරිසක් ඉන්නෙ කාන්තාවන් වීම විශේෂයි. රාජ්‍ය විශ්වවිද්‍යාල 17ක් තිබෙනවා. උපාධි අපේක්ෂකයන් වශයෙන් වර්ෂයකට සාමාන්‍යයෙන් 43000ක් පමණ ඇතුළත් වෙනවා. මෙයින් ඉංජිනේරු පීඨය ඇරුනම අනෙක් සෑම පීඨයකම බහුතරය බාලිකාවන් සිටින්නේ. ඒ වගේම අපේ රටේ තමයි ප්‍රථම කාන්තා අගමැතිතුමිය බිහිවුණේ. ඒ වගේම අපේ රටේ ජනාධිපතිනියන් බිහි වෙලා තිබෙනවා. අග්රවිනිශ්චයකාරවරියන් බිහිවෙලා තිබෙනවා. ඒ නිසා ඒ ආකාරයෙන් බැලුවම අපේ රටේ රාජ්‍ය සේවය ගත්තත් පෞද්ගලික සේවාවන් ගත්තත් අද මීට වසර කිහිපයකට පෙර තත්ත්වයකට වඩා වෙනස් වූ තත්ත්වයකට මුහුණ දීලා තිබෙනවා. බොහෝ රටවල් සමඟ සංසන්දනාත්මකව බැලුවොත් අපි ඒ අතින් පියවර ගණනාවක් ඉදිරියෙන් සිටිනවා.
මේ අවස්ථාවේදී තාවකාලික කාන්තා රැකවරණ මධ්‍යස්ථානයන්ට අදාළ මාර්ගෝපදේශය සහ කාන්තා කාර්ය සංවිධාන සහ කාන්තා බල මණ්ඩල ව්‍යවස්ථාව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ප්රදානය කළාය. ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ තාවකාලික කාන්තා රැකවරණ මධ්‍යස්ථාන වෙත ත්‍රිරෝද රථ, පරිගණක හා මුද්‍රණ යන්ත්‍ර සංකේතාත්මකව පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණි. තවද රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ පාඨමාලා සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමක් ද සිදු විය. නියාමනය නොකළ අංශවලින් ලබා ගන්නා ලද ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් නිදහස් වීම වෙනුවෙන් ලබා දෙන ‘ලිය සවිය’ ණය වැඩසටහන යටතේ ණය ලබා දීම සංකේතාත්මකව ආරම්භ කිරීම ද, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ බෝලවලාන යහපත් එඬේරා කන්‍යාරාමය මඟින් පවත්වන ලද හෙද සත්කාර සේවා වෘත්තීය පුහුණු පාඨමාලාව NVQ 3 මට්ටම සාර්ථකව හදාරනු ලැබූ තරුණියන් සඳහා සහතිකපත් ප්රදානය කිරීමද මෙහිදී සිදු විය.
වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරි මාර්ග ඇමැති නීතීඥ පවිත්‍රාදේවි වන්නිආරච්චි, කම්කරු සහ විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර, සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය ඇමැති අනුප පස්කුවෙල්, හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශ ලේක්ම්වරු, ප්‍රධාන ලේකම්වරු, දිසාපතිවරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද, දිවයින පුරා කාන්තා සංවිධාන නියෝජනය කරමින් කාන්තාවන් විශාල පිරිසක් මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.
ඡායාරූප – චින්තක කුමාරසිංහ