රුපියල් කෝටි තිස්පහමාරක් වැයකොට ඉදිකළ පැරෑලිය ධීවර වරාය මේ වනවිට අතරමග නවතා දමා ඇති බවත් විශාල ජනතා මුදලක් මෙසේ වැයකොට අතරමග ඇතහැර දැමීම විශාල අපරාධයක් බවත් ජනතාව පවසයි.
පැවැති සෑම රජයකම ධීවර අමාත්‍යවරුන් මෙම ස්ථානයට පැමිණ ඇතිමුත් අවස්ථා දෙකකදී වරාය හෑරීම සිදු කළ ද තවමත් එක් ධීවර බෝට්ටුවක්වත් මෙම වරායට ගෙන ඒමට නොහැකි වූ බවත් මෙවැනි කෝටි ගණන් ගිලගන්නා අසාර්ථක ව්‍යාපෘති මෙසේ රට ණය වීමට හේතුවී ඇති බවත් ජනතාව පවසති.
කෝටි තිස්පහමාරක් වියදම් කර ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ පැරෑලිය තෙල්වත්ත ධීවර වරාය මේ වන විට ප්‍රදේශයේ තරුණයන්ගේ ක්‍රීඩා පිට්ටනියක් වී ඇත. රාජිත සේනාරත්න අමාත්‍යවරයා ධීවර ඇමැතිව සිටි කාලයේ ආරම්භ කළ ධීවර වරායේ වැඩ කටයුතු විජිතමුනි සොයිසා, මහින්ද අමරවීර, කංචන විජේසේකර සහ වත්මන් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහත්වරුන් විසින් නිරීක්ෂණ චාරිකා කිහිපයක් මෙහි සිදු කළත් මේ වනතුරුත් ධීවරයන්ට මෙම ධීවර වරායෙන් කිසිම ප්‍රයෝජනයක් වී නොමැති අතර මෙය දේශපාලනඥයන්ගේ ආශීර්වාදය ලබන වැලි ජාවාරම්කරුවන්ට නම් ඉල්ලමක් වී ඇත. මෙම ධීවර වරායේ හාරන ලද වැලි සියයට 75 ක් නැවත මුහුදට දැමීමට ගිවිසුම් අනුව වැඩපිළිවෙළක් සකස් කර ඇතත් හාරන ලද වැලි සියල්ලම පාහේ විකිණීම සඳහා ගෙන යන බව ප්‍රදේශවාසීහු පවසති. විටින් විට මෙහි වැලි හාරා වරායේ කටයුතු ආරම්භ කළත් අද වන විට සියලු වැඩ කටයුතු නවතා ඇත. විද්‍යානුකූලව මෙම වරායේ වැලි හැරීම සිදු නොකරන බැවින් පාරම්පරිකව තිබූ තෙල්වත්ත, පැරෑලිය මාදැල් වෙරළ තීරය මේ වන විට අභාවයට යමින් තිබේ. මෙම ප්‍රදේශයේ ධීවර කාර්මිකයන්ගේ බහුදින එක්දින ධීවර යාත්‍රා රාශියක් මේ වන විට ගාල්ල, හික්කඩුව, අම්බලන්ගොඩ, බේරුවල ප්‍රදේශවල ධීවර වරායන්ගේ සිට ධීවර කටයුතු සිදු කරයි. ඔවුන්ට තම ධීවර කටයුතු සඳහා යාමට විශාල වියදමක් ප්‍රවාහනය සඳහා දැරීමට සිදුවන බවත් ඔවුහු පවසති. මෙම ධීවර වරාය නියමිත අයුරින් ඉදිකළහොත් ධීවර කර්මාන්තයේ යෙදෙන පවුල් දෙසීයකට පමණ හා වක්‍රව සම්බන්ධ පවුල් 300කට පමණ සෙත සැලසෙන බව ප්‍රදේශවාසීහු පවසති.
මෙම ප්‍රදේශයේ සිටින පාරම්පරික ධීවරයන්ගෙන් කිසිම අදහසක් මේ වරාය ඉදිකිරීම සම්බන්ධයෙන් විමසා නොමැති අතර නිලධාරීන් විසින් දේශපාලනඥයන්ගේ ඕනෑඑපාකම් අනුව ඉදිකිරීමට ගත් මෙම පැරෑලිය තෙල්වත්ත ධීවර වරාය මේ වන විට සුදු අලියෙක් බවට පත්වී ඇත. ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව සොයා බලා ධීවරයන්ට සහනයක් ලබා දෙන ලෙසයි. මෙම වරාය මේ වනවිට ප්‍රදේශයේ තරුණයන්ගේ ක්‍රීඩා පිටියක් බවට පත් වී ඇති බව තෙල්වත්ත, පැරෑලිය ධීවර වරාය සුරැකීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු රුවන් ප්‍රීති කුමාර මහතා පවසන අතර රුපියල් කෝටි තිස් පහමාරක් පමණ වැය කර මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත්තේ ගල්වැටියක් දමා වැලි හෑරීම පමණක් කළ බවයි. මෙම ස්ථානය නිරීක්ෂණය සඳහා ධීවර අමාත්‍යවරුන් හතර දෙනකු ද පැමිණියත් අද ඉදිකිරීම් කටයුතු නතර කර දමා ඇති බවයි.
තෙල්වත්ත, පැරෑලිය මාදැල් ධීවර සමිතියේ සභාපති ගාමිණී නන්දන මහතා පැවැසුවේ අක්‍රමවත්ව තෙල්වත්ත පැරෑලිය ධීවර වරාය ආරම්භ කිරීම නිසා තමන් බොහෝ කාලයක් මාදැල් ධීවර කර්මාන්තය කළ තෙල් වත්ත වෙරළ තීරය මේ වන විට විනාශ වෙමින් යන බවය. මෙම ධීවර වරායේ වැඩකටයුතු නැවත ආරම්භ කිරීමට සූදානම් වුවහොත් තමන් එයට විරෝධය පළ කරන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.