ශ්‍රී ලංකා පිලේ බංග්ලාදේශ සංචාරයේ පැවැත්වෙන තෙවැනි හා අවසන් විස්සයි20 තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30ට සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. දෙපිලම තරග 1-1ක් ලෙස තරගාවලිය සම මට්ටමකට පත්කොට ඇති හෙයින් අද ප්‍රතිඵලයෙන් තරගාවලියේ ජය තීරණය වේ.
බංග්ලාදේශය වසරක් තිස්සේ තම නිජබිමේදී පැවැති විස්සයි20 තරගාවලි තුනම පිට පිට ජයග්‍රහණය කොට ඇති බැවින් ශ්‍රී ලංකාව සමඟ මේ තරගාවලියේ ජයග්‍රහණය ආරක්ෂා කර ගැනීමේ විශාල පීඩනයක් ඔවුන් තුළ පවතී. පසුගිය වසරේ මාර්තු මාසයේ සිට එංගලන්තය 3-0කින්, අයර්ලන්තය 2-1කින් හා ඇෆ්ගනිස්තානය 2-0කින් පරාජය කිරීමට බංග්ලාදේශය සමත්ව සිටියි.
ශ්‍රී ලංකා පිල ද සිම්බාබ්වේ හා ඇෆ්ගනිස්තානය සමඟ විස්සයි20 තරගාවලි දෙකම වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුතුව ජයගෙන යහපත් මානසික තත්ත්වයකින් පසුවේ. දඹුල්ලේදී විනිසුරු ලින්ඩන් හැනිබල් මහතාගේ ‘නෝබෝල්’ සිද්ධියෙන් පසු අනපේක්ෂිත ලෙස තරග 2ක තහනමින් පසු වනිඳු හසරංග අද නායකත්ව භූමිකාවට යළි පිවිසීම ශ්‍රී ලංකා පිලට ශක්තියක්වී තිබේ. හසරංග විස්සයි20 තරගවලදී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයක් දක්වන බැවින් බංග්ලාදේශයට ඔහුගේ තර්ජනය නිසැකවම සිදුවේ.
කෙසේ වුවද ශ්‍රී ලංකා පිලේ ‘වයිඩ් පන්දු යැවීමේ’ දුර්වලතාව අද තරගයේදී මඟ හරවා ගැනීම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තකි. පසුගිය තරග දේකේදී ශ්‍රී ලංකා පිලෙන් දක්නට ලැබුණු ‘වයිඩ්’ පන්දු හා ‘නෝබෝල්’ පන්දු යැවීමේ දුර්වලතාව කැපී පෙනුණු අතර එයින් ප්‍රතිවාදීන්ට විශාල වාසියක් අත්විය.
සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු විස්සයි20 තරගයේදී ශ්‍රී ලංකා පිල අතිරේක ලකුණු 19ක් ලබාදුන් අතර, එයට ‘වයිඩ්’ පන්දු 9ක් හා ‘නෝබෝල්’ 3ක් ඇතුළත් වූවේය. මේ ‘වයිඩ්’ හා ‘නෝබෝල්’ පන්දු 12ට ‘ෆ්‍රී හිට්’ ප්‍රහාරය ගණන් නොගෙන ලකුණු 12ක් මෙන්ම තවත් අමතර ඕවර 2ක් බංග්ලාදේශයට හිමිවිය.
දෙවැනි විස්සයි20 තරගයේදී ශ්‍රී ලංකා පිල අතිරේක ලකුණු 23ක් ලබාදුන් අතර, එහිදී ‘වයිඩ්’ ලකුණු 13ක් බංග්ලාදේශයට හිමි විය. එම අවස්ථාවේදී ද අමතර ලකුණු මෙන්ම අමතර පන්දු බංග්ලාදේශයට ප්රදානය විය. නිමාවූ තරග දෙකේදීම ශ්‍රී ලංකා පිල අතිරේක ලකුණු 42ක් ලබාදී තිබේ. මෙමඟින් බංග්ලාදේශ පිලට විශාල අමතර ‘බෝනස්’ වාසියක් හිමි විය.
මේ තරග දේකේදීම වේග පන්දු යැවූ මතීෂ පතිරණ ‘වයිඩ්’ පන්දු 13ක් හා ‘නෝබෝල්’ පන්දු 3ක් යැවීමෙන් අමතර ලකුණු 16ක් සාමාන්‍යයෙන් ප්රදානය වීම හා තවත් පන්දු ඕවර 2.4ක් ප්‍රතිවාදීන්ට කෙළින්ම ප්රදානය විණි. ඔහු විසින් යවන ලද ‘නෝබෝල්’ පන්දු 3ට හිමිවන ‘ෆ්‍රී හිට්’ ප්‍රහාරයේ හයේ – හතරේ පහර වෙනම ගණනය කළ යුතු වේ.
ශ්‍රී ලංකාව අද බංග්ලාදේශයට එරෙහිව තරගාවලි ජය වාර්තා කළහොත් වසර 6කට පසු බංග්ලාදේශයේදී විස්සයි20 තරගාවලි ජයක් වාර්තා කරනු ඇත. මෙයට පෙර අවසන්වරට ශ්‍රී ලංකා පිල දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් සිදුකළ බංග්ලාදේශ සංචාරයේදී 2018 පෙබරවාරි 18දා මීර්පූර්හි පැවැති තරගය කඩුලු 6කින් හා සිල්හෙට්හිදී පැවැති තරගය ලකුණු 75කින් ජය ලබා 2-0ක් ලෙස තරගාවලි ජය වාර්තා කළේය.