මොරටුව වේල්ස් කුමර විදුහල සමඟ 74 වැනි වරට පැවැත්වෙන ‘මොරටු රන් සටන’ වාර්ෂික මහා ක්රිකට් තරගයේ පළමු දිනය නිමා වන විට වැඩි ගෞරව හිමි කර ගැනීමට සාන්ත සෙබස්තියන් විදුහල් ක්රීඩකයෝ සමත් වූහ.
මොරටුව ද සොයිසා ක්රීඩාංගණයේදී ඊයේ ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනූ සෙබස්තියන් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් වේල්ස් කුමර ක්රීඩකයෝ ලකුණු 219ක් රැස් කළ අතර, දිනය නිමා වන විට පිළිතුරු ඉනිම ක්රීඩා කරන සෙබස්තියන් පිල කඩුලු 3ක් දැවී ලකුණු 139ක් රැස් කර තිබිණි. ඒ අනුව කඩුලු 7ක් අතැතිව සිටින සෙබස්තියන් පිල වේල්ස් කුමර පළමු ඉනිමට වඩා පසුපසින් සිටින්නේ තවත් ලකුණු 80කිනි.
අදීෂ් අල්මේදා නොදැවී ලකුණු 46ක් රැස් කර සිටි අතර, තෙවැනි කඩුල්ල ලෙස විමත් දින්සර දැවී ගියේ ලකුණු 51ක් රැස් කර තිබියදීය.
පළමුව පන්දුවට පහරදුන් වේල්ස් කුමර විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් (52) වාර්තා කිරීමට සුවහස් ප්රනාන්දු සමත් වූ අතර, පන්දු 104කට මුහුණ දුන් ඔහු හතරේ පහර 4ක් එල්ල කර තිබිණි.
ඔෂාන් ද සිල්වා සහ උනෙත් පීරිස් ලකුණු 37 බැගින් රැස් කළ අතර, සචිර දෙව්මින් ලකුණු 31ක් සහ නවීන් ප්රනාන්දු ලකුණු 30ක් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී මලින්ත සිල්වා කඩුලු 3ක් බිඳ දැමූ අතර, අදීෂ් අල්මේදා සහ මනුජ චන්තුක කඩුලු 2 බැගින් දවා ගත්හ.
අද තරගයේ අවසන් දිනයයි.
වේල්ස් කුමර පළමු ඉනිම – 219 (ඕවර 59.4) සුවහස් ප්රනාන්දු 52, ඔෂාන් ද සිල්වා 37, උනෙත් පීරිස් 37, සචිර දෙව්මිණ් 31, නවීන් ප්රනාන්දු 30 (මලින්ත සිල්වා 70/3, අදීෂ් අල්මේදා 27/2, මනුජ චන්තුක 82/2)
මොරටුව සාන්ත සෙබස්තියන් පළමු ඉනිම -139/3 (ඕවර 34) විමත් දින්සර 51, අදීෂ් අල්මේදා නොදැවී 46, ජනක සිල්වා 30