වෙහෙස කර චාරිකාවක අවසන් පැය කීපය යෙදී තිබුණේ මතුගම සිට අගලවත්ත මාර්ගය ඔස්සේයි. හිරු දිවාකල අවසන් අඩහෝරාවට ආසන්න වී සිටී. පාර දෙපස එක යායට හමුවන්නේ රබර් වතු සහ සරුවට වැඩුණු කටුපොල් වගාවන්ය. කටුපොල් දුටුමතින් ඇහේ කටු ඇනෙන ගානට අදහස් ඇති මිතුරෙකු මෙන්ම, නෑ මේ කතාවේ තවත් පැත්තක් තිබිය හැකියි සිතන සහයින් දෙදෙනෙක් මා සමඟය.
“අපි මේ හරියේ පින්තූර ටිකක් ගමු වාහනේ ඉදිරිපසින් ආ යෝජනාවට අනික් අයද කැමැති වූයේ කටුපොල් වගාව ගැන වරින් වර කරළියට එන ප්‍රවෘත්ති සඳහා සුදුසු ඡායාරූප පිළිබඳ අදහසිනි.”
සගයින්ද සමඟින් කටුපොල් වගාබිම තුළට මඳ දුරක් ඇවිද ගියෙමි. දුරින් දුරට පෙනෙන උඩුවියනට යටින් කොළපැහැ වැල් පඳුරු ගාලකින් වැසී ඇත. ඒ අතරින් වතුර ගලායයි.
කතාවත් සමඟින් අපි පැමිණ තිබුණේ නිල් පැහැ දියපිරි ලිඳක් වෙතයි. මීටර් දෙකක පමණ වර්ග පළලකින් යුතු ලිඳෙහි ගැඹුර අඩි 25ක් පමණි. .
“මේ ලිං කාලෙකට හිඳෙනවා ඇති නේද?” මගේ සගයාගේ ගැටලුවයි. නෑ වතුර කවදාවත් හිඳිල නෑ. දැන් දැන් මේ පැත්තට හැමදාමත් වහිනවනෙ. වැස්ස නිසා රබර් ඉඩං වලින් ප්‍රයෝජනයක් නැති වුණා. උත්තර බැන්ඳේ අසල වසුපැටවෙකු දක්කන් යන අයෙකි.
“කටුපොල් නිසා වතුර හිඳෙනවා කියන්නෙ” “මොන බොරුද දැන් මේ පැත්තට වැස්ස වැඩිවෙලා තියන්නෙ.” ඔහුගේ පිළිතුර විය.
ඒ අනුව කටුපොල් පිළිබඳව සමාජයේ පැතිර ඇති මත සැබෑවක්ද? යන්න පදනම් කීපයක් ඔස්සේ ගවේෂණය කෙරිණි.
ඒ අනුව එක් මඟක් වූයේ කටුපොල් හෙවත් පාම් ඔයිල් සඳහා විරෝධයක් මතුවීමේ පදනම හඳුනා ගැනීමයි.
2022/2023 පාම් ඔයිල් කර්මාන්ත කරුවන්ගේ වාර්ෂික වාර්ථා මෙන්ම පසුගිය නොවැම්බර් 23 දා බන්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙහි පැවති පාම් ඔයිල් පිළිබඳව පැවති අන්තර්ජාතික සමුළුව වෙතින් මේ සඳහා විද්‍යාත්මක තොරතුරු රාශියක් ඉදිරිපත්විණි. එහිදී අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා මහාචාර්ය ඒ.පී. නිශ්ශංක මෙලෙස පැවසීය.
” Elaeis guineensis ලෙස විද්‍යාත්මකව හඳුන්වන කටුපොල් හෙවත් පාම් ඔයිල් හි ජන්ම භූමිය බටහිර නිරිතදිග අප්‍රිකාවයි. ලෝකයේ වැඩි පිරිසක් ආහාර ලෙස පරිභෝජනය කරන ශාකමය තෙල් අතරින් පාම් තෙල් මුල්තැන ගනී.එසේම පාම් තෙල් ලොව වඩාත්ම තිරසර සහ, ආර්ථික වශයෙන් ඵලදායී වගාවන්ගෙන් එකකි. ලොව එළවළු තෙල් ලබා ගැනීමට වෙන්වූ වගා බිම්වලින් පාම් ඔයිල් වගාව සඳහා වෙන්ව ඇත්තේ 5%කි. මෙම 5% බිම් ප්‍රමාණයෙන් ලෝක එළවළු තෙල් අවශ්‍යතාවෙන් 38% සපුරයි. අඩු භූමි ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට ඇති හැකියාව ඉඩම් සීමිත කුඩා දූපතක් වන ශ්‍රී ලංකාවට යෝග්‍ය විසඳුමක් ද වෙයි. ”
එහෙත් පාම් ඔයිල් වගාව පරිසරයට විනකරන හේතුවක් ලෙස ඉහළ අස්වැන්නක් ලබා දීම සඳහා ඉහළ ජල පරිභෝජනයක් කරන බවටත්, ඒ නිසාම පොළොවේ සාරවත් බව තුරන්වීම පමණක් නොව ජල උල්පත් සිඳීයාමත් සිදුවන බවට පාම් ඔයිල් වගාව වෙත එල්ලවූ චෝදනායි. ඒ පිළිබඳව මෙම සම්මන්ත්‍රණයේදී අදහස් ඉදිරිපත් විය. ඉන් ඉදිරිපත්වූ වැදගත් කරුණු කීපයක් මෙසේයි.
පළමුවැන්න, ලංකාවේ දැනට වගාකොට ඇති හෙක්ටයාර 11000ක ඉඩම් සියල්ල මින් පෙර රබර් හෝ තේ වැවීම හේතුවෙන් නිසරු බවට පත්වූ ඉඩම්ය. ඒවා නැවත සරු ඉඩම් බවට කෘෂි විද්‍යාත්මකව සැකසීමෙන් අනතුරුවයි පාම් ඔයිල් / කටුපොල් සිටුවා ඇත්තේ. දෙවැන්න, වසර 10ක බදුරලිය, නාකියාදෙනය, කෑගල්ල ප්‍රදේශවල වර්ෂාපතනය සැලකීමේදී ඒ ප්‍රදේශවල වර්ෂාපතනය ක්‍රමිකව වැඩිවී ඇති ආකාරය හඳුනාගත හැකියි. (පහත වගුවේ සඳහන් වෙන්නේ පසුගිය වසර 10යෙහි නාකියාදෙණිය හා බදුරලියෙහි කාලගුණවිද්‍යා වාර්ෂික වර්ෂාපතන වාර්තායි.)
තෙවැන්න ,පාම් ඔයිල් වගාබිමක පාරිසරික තත්ත්වයන්, තේ රබර්, වී, පොල් වැනි වගාබිම්වල පසෙහි තත්ත්වයන් හා ජෛව විවිධත්වය ආදිය සලකන විට සෑම අතකින්ම ඒවාට සමාන හෝ පොල්,තේ, රබර්, වී වැනි ආර්ථික භෝග සහිත බිමිවලට සාපේක්ෂව හොඳ තත්ත්වයක පවතින බවට සනාථ කරයි.
සිවුවැනි කරුණ එක් පාම් ඔයිල් ගසක දිනක ජල පරිභෝජනය. ලීටර් 249කි. එක් පොල් ගසක දිනෙක ජල පරිභෝජනය ලීටර 130කි. වැඩුණු රබර් ගසක දිනක ජල පරිභෝජනය ලීටර 63කි.
හෙක්ටයාර එකක පාම් ඔයිල් වගාවකට අවැසි ජලය 35607කි. පොල් සඳහා ලීටර් 20,800කි. රබර් සඳහා ලීටර් 32760කි. දැනට පාම් ඔයිල් වගාකොට ඇත්තේ රබර්,තේ වැවෙන ප්‍රදේශවල නිසා මෙම වගාවන්ගෙන් කොයික කළත් පරිසරයට ඇති බලපෑම සමාන බව පර්යේෂකයින්ගේ මතයයි.
මීලඟ කරුණශ්‍රී ලංකාවේ පාම් ඔයිල් වවන්නේ වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 2500-3500 අතර කලාපයේයි. මෙම ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය හෙක්ටයාර එකකට ලීටර් 68500 පමණ වේ යයි ගණන් බලා තිබේ. ලොව පාම් ඔයිල් කර්මාන්තයේ ප්‍රමුඛයින් වන මැලේසියාව හා ඉන්දුනීසියාව වගා කටයුතු සිදු කරන්නේ මිලිමීටර 2000 – 2500 වර්ෂාපතන කලාපයේයි. ඉන්දියාව වගා කටයුතු ව්‍යාප්තියට තෝරා ඇත්තේ මිලිමීටර 2000ක වර්ෂාපතන කලාපයයි.
ශ්‍රී ලංකාවේ වගාකොට ඇති භූමි ප්‍රමාණය වන හෙක්ටයාර 11132ක භූමි ප්‍රමාණය හෙක්ටයාර 20000 දක්වා වැඩි කිරීම සඳහා 2016 දී පොල් පර්යේෂණ ආයතනයේ මෙන්ම පොල් සංවර්ධන මණ්ඩලයේ අනුමැතිය හා අධීක්ෂණය යටතේ අවසර ලබාදීමට හේතු කීපයක් බලපා තිබිණි.
පළමු වැන්න පාම් ඔයිල් වගාවෙන් ජාතික ආර්ථිකයට එක්වන ආදායම සලකායි.
1980 වසරේ සිට 2023 දක්වා මෙරට ඔයිල් පාම් වගාබිම් වෙතින් ලබාඇති තෙල් අස්වැන්න මෙට්‍රික් ටොන් 388,882.15කි. ඒ අස්වැන්න නිසා ඉතිරිවූ ඇමරිකානු ඩොලර් ප්‍රමාණය 249,130,027.49කි.
දෙවැන්න එළවළු තෙල් ආනයනයට වැයවන වියදම අඩුකර ගැනීමයි.
තෙවැන්න දැනට අඩු ඵලදායිතාවක් ඇති වැවිලි ඉඩම්වලින් නිසි ඵලදායිතාවක් ලබා ගැනීමයි.
එසේම වැඩි ආදායමක් උපයන පාම් ඔයිල් වගාව එතෙක් කලක් මහා පරිමාණ වතුසමාගම්වලට පමණක් සීමා කරගනිමින් සිදුකරගත් ඓතිහාසික වැරැද්ද නිවැරැදි කිරීමටත් එය කරගත හැකිව තිබිණි. පාම් ඔයිල් හෙවත් කටුපොල් පිළිබඳව විරෝධතා ඉස්මතුවෙන්නේ මින් අනතුරුවයි. මාධ්‍ය හැසිරීම පිළිබඳව සමීන්ෂණයක් කිරීමෙන් තහවුරු වී ඇත්තේ කරුණු තහවුරු නොකර කරන ලද වාර්ථාවන් නිසා කටුපොල් පිළිබඳව විරෝධයක් මතුවූ බවයි. 2019 මැතිවරණ වේදිකාවේ පාම් ඔයිල් සීමා කිරීම මැතිවරණ පොරොන්දු අතරට පැමිණෙන තරමට කටුපොල් පිළිබඳ අඳුරු සිතුවමක් ගොඩනැඟෙන්නේ අවිද්‍යාව පදනම් කරගෙනයි. ඒ බව සනාථ වෙන්නේ ගෝලීයව කටුපොල් හෙවත් පාම් ඔයිල් නැවත සිටුවීම තහනම් කළ එකම රට සේම පාම් ඔයිල් ආනයනය තහනම් කළ එකම රට ලෙස ශ්‍රී ලංකාව ඉතිහාසගත වීමෙනි. අප කොතෙක් රැවටී ඇත්දැයි හැඟෙන්නේ අප පත්වී සිටින ණය මත ජීවත්වන බිඳුණු ආර්ථිකය නිසාම පමණක් නොවේ. ලෝකය මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය පිළිබඳව විමසිලිමත් වීමෙනි.
පසුගිය වසරේ පාම් තෙල් පිළිබඳ ගෝලීය වාර්ෂික ආදායමෙන් 72% උපයා ඇත්තේ ආසියා පැසිපික් කලාපයයි. ඉන් වැඩි ආදායම ලබා ඇත්තේ මැලේසියාව, ඉන්දුනීසියාවයි. ඉන්දුනීසියාවේ මෙම කර්මාන්තය හා බැඳී කුඩා වැවිලිකරුවෝ ප්‍රමාණය මිලියන 1.460කි. බන්ඩාරනායන සම්මන්ත්‍රණශාලාවෙහි පැවති සමුළුව අතරතුර මැලේසියා තානාපතිනිය පවසා සිටියේ එරට ආර්ථිකයට උරදෙන කුඩා ඉඩම් හිමියන් ප්‍රමාණය 300,000 බවයි. තායිලන්තයේද ඉඩම්හිමි වැවිලිකරුවෝ 300,000 කි. පසුගිය වකවානුවේ මේ රටවල විදෙස් විනිම සංචිත ඉහළ යාම පිළිබඳව විමසිලිමත් වීමේදී අප කෙතරම් පසුබෑමට පත්වී ඇත්දැයි හැඟේ. ඉන්දියාවේ මේ කුඩා ඉඩම් හිමියන් පිරිස කඩිනමින් වැඩි වෙමින් පවති. ඒ සඳහා ණය යෝජනා ක්‍රමයක්ද මෝදි ආණ්ඩුව හඳුන්වා දී තිබිණි. ඉන්දීය අගමැතිගේ ඉලක්කය එරට පාම් ඔයිල් ඉඩම් ප්‍රමාණය 2030 වනවිට හෙක්ටයාර මිලියන 16.7ක් දක්වා වැඩි කිරීමයි. දැනට ඔවුන් සතුව ඇත්තේ හෙක්ටයාර 350,000 ඉඩම් ප්‍රමාණයකි. ඉන්දියාව මේ වනවිටත් එළවළු තෙල් ආනයනයට ඩොලර් බිලියන 8.72ක් වැය කරයි. එරට අපේක්ෂාව 2030 වනවිට ටොන් මිලියන 6.6ක අස්වැන්නකි. ලෝක වෙළෙඳපොළෙහි පසුගිය වසරේ පාම් තෙල් අලෙවිය අමෙරිකානු ඩොලර් බිලියන 65.8ක් වී තිබිණි. එම අගය මේ වසරෙහිදී අමෙරිකානු ඩොලර් බිලියන 68.14ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව ඉදිරි වසර 10ක කාලයේදී ඉල්ලුමේ වේගය 5.2% වේගයකින් ඉහළ යනු ඇතැයි වෙළෙඳපොළ සමීක්ෂණ ඇසුරින් හඳුනාගෙන තිබේ. මේ වෙළෙඳපොළ වෙත ප්‍රවේශ විය හැකි නම් එය ඩොලර් ඉපැයීමේ මඟකි. ඉන්දියාවේ අපේක්ෂාව එයයි.
කටුපොල් හෙවත් පාම් ඔයිල් සීමාව ඉවතලන ලෙස ඉල්ලා සිටින්නේ වැවිලි කර්මාන්තකරුවන් පමණක් නොවේ ගාල්ල, මාතර, කළුතර, කෑගල්ල, හොරණ, බදුරලිය ආදී ප්‍රදේශවල අක්කරයක සිට අක්කර 10 දහය දක්වා හිමි ඉඩම් හිමියන් “හරිත දෙරණ “නමින් සංවිධානය වී පසුගිය සමයේ මාධ්‍ය සාකච්ඡා පවත්වා තිබිණි. ඔවුන් උද්ඝෝෂණයක නිරතවී පාම් ඔයිල් වගාවට අවසර ඉල්ලූ බවටත් ජනමාධ්‍යයන්හී වාර්ථාවී තිබිණි.
මේ ඔවුන් අතරින් කීපදෙනෙකුගේ අදහස්ය.
සිරිපාල එදිරිසිංහ
“මට අක්කර නූනක විතර තේ වගාවක් කරනවා. තවත් අක්කර තුනක රබර් තියනවා. අපි 2019 සිටම අක්කර දෙකක විතර ඉඩමක් පාම් ඔයිල් සිටුවීමේ අපේක්ෂාවෙන් වෙන්කර තිබෙනවා. දැන් තේ වගාව හරිම දුෂ්කරයි. කම්කරුවෝ නෑ පොහොරනෑ තිබුණත් පොහොර හරිම මිල ඉහළයි. මගේ ඉඩම මායිම් වෙන්නේ සමාගමේ කටුපොල් වගාවට. මට පේනවා ඒ අය ඒක උපමරිම පහසුවට කරගෙන යන බව. අක්කරයක ඉඩමකට ඉන්නේ එක සේවකයයි. අපේ ඉඩම්වල වගා කළොත් අපිටම වැඩකළ හැකියි. තේ වගාවේ ප්‍රශ්නයට වඩා රබර් ප්‍රශ්නය බරපතළයි. 2023 අවුරුද්දේ වැස්ස නිසා දවස් 10ක් වත් රබර් කිරි කපලා නෑ. මේ පාඩු නිසාම අක්කර 8ක් විතර තියාගෙන අපි දුකක් විඳින්නේ. ජීවත් වෙන්න අනුන්ගේ ඉඩම්වල කුලී වැඩ කරන තත්ත්වයට අපි වැටිලයි ඉන්නේ. අපි මුකුත් ආධාර ඉල්ලන් නෑ අපේ ඉඩම්වල වගා කරන්න කටුපොල් පැළ ලබා දෙන්න කියලයි ඉල්ලා සිටින්නේ”
එස්.එම්. සමරනායක
මගේ උපන්ගම බදුරලිය. මේ පැත්තට අව්ව වැස්ස හැමදාමත් ඇතිපදං තියනවා. උපන්තේකට වතුර හිඟවෙලා නෑ. එහෙම වෙයි කියලා හිතන්නත් බෑ. මේ වහින වැස්සත් එක්ක. කටුපොල් ගැන ඒ කාලේ කටකතා හරියට ආවා. අපි උපන්දා ඉඳල ගොවියෝ. අපි හැප්පෙන්නේ මේ පොළොවත් එක්ක. ගහක් ගැන වුණත් අපිට ඒකෙ කොළ අතු ගෙඩි මුල් දිහා බලලා යමක් කියන්න පුළුවන්. පාම් ඔයිල් තාල වර්ගයේ ගහක්. ඒකට මුදුන් මුලක් නෑනෙ. මුල් ටික විහිදෙන්නේ අඩි 03ක විතර දුරකට. ඉතිං කොහොමද මේ ගහ නිසා භූගත ජලය හිඟ වෙනවයි කියන්නෙ. වැවිලි භෝග කෝකත් පරිසරයේ සමතුලිත බවට බාධයි. තේ වගාවක මොනවද තියන ජෛව විවිධත්වය. අපිට අවසර දෙනව නම් අපි මේක වගා කරන්නේ අපේ ගෙවතුවල අපි පොල් හදල තියනවා. ඒ අතර අනෙකුත් භෝගත් තියනවා. ඒ නිසා පරිසරයේ සමතුලිත බව රැකෙනවා. මේ ගැන විද්‍යාත්මකව පර්යේෂණ කරන්න. ඒ සඳහා අප වැනි වගාකරුවන්ගේ සහයත් ගන්න. අපිට මේ ආර්ථික භෝගය වගා කිරීමට අවශ්‍ය ආණ්ඩුවේ සහාය ලබා දෙන්න කියලයි ඉල්ලා සිටින්නේ”
උපුල් වික්‍රමආරච්චි
මේක ලෝකෙටම විහිළු සපයන රටක්. නිදහසින් පස්සේ දරුණුම ආර්ථික පරිහානිය වෙලා. ඩොලර් නැති නිසාලු හැම අකරතැබ්බම. අපි ඉල්ලන්නෙ අපේ ඉඩමේ වගාවක් කරන්න අවසරය විතරයි. අපිට වගා කිරීමට සුදුසු බීජ හෝ පැළ. වෙනත් කිසිදු දෙයක් එපා. අපිට පුළුවනි තව අවුරුදු තුනක් යන විට රටින් එළියට යන ඩොලර් යම් ප්‍රමාණයක් හෝ නවතා දැමීමට. කාබනික ගොවිතැන නිසා අපේ තේ වගාව, රබර් වගාව දෙකම නිස්සාර වුණා. පරණ රබර් ගලවා අක්කර 05ක අලුතින් රබර් ඉන්දුවා. නමුත් ඒනයින් නියම ආදායමක් ගැනීමට තාමත් නොහැකියි. කම්කරු හිඟය. පොහොර මිල වගාබිම් පාළු වීමට හේතුවක්”
කුමාරි ගමඇතිගේ
අපි ඉල්ලන්නේ රැකියාවක්, අස්වැසුම ආධාර නෙවෙයි. අපේ ගෙවත්තේ කටුපොල් ඉන්දන්න අවසරය. අපේ ශ්‍රමයෙන් වගා කළ හැකි වගාවක් නිසාම නියම ප්‍රයෝජනය ගත හැකියි. යටි වගාවක් විදිහට කහ, ඉඟුරු වගාකර අමතර ආදායමක් ලබාගත හැකියි. මැලේසියාව, ඉන්දුනීසියාව වැනි රටවල් පොල් ගහ තරමටම මේ ගහෙන් ප්‍රයෝජන ගන්න බව අන්තර්ජාලයෙන් දැනගත්තා. අක්කරයකින් මාසෙකට රුපියල් ලක්ෂයක පමණ ආදායමක් ලබාගත හැකි බවට තොරතුරු තිබෙනවා. කාටත් අත නොපා ජීවත්වීමට ප්‍රමාණවත් ආදායමක් ඉන් ගත හැකියි.
ටී.ඒ චන්ද්‍රලාල්
අපිට දැන් ගොවිතැන් එපා වෙලා ඉන්නේ. දවසම තේ වතුවල හිටියත් නියම ආදායමක් නෑ. වැඩට මිනිස්සු නෑ. හිටියත් පඩියක් දෙන්න ආදායමක් නෑ. ඒනිසා වගා ඉඩම් ගොඩක් අතැරදාන තත්ත්වයට ඇවිත්. පාම් ඔයිල් වගා කිරීමට අවසර දෙනව නම් අපිටත් අලුත් අපේක්ෂාවකින් වැඩ කළ හැකියි. කාබනික ගොවිතැන ආපසු හැරවූ ආකාරයෙන් ඇයි බැරි මේ නීතිය ආපසු හරවන්න.
දුරවබෝධය, අවිද්‍යාව මත පදනම් වී මැතිවරණයක් නිසාම ගත් වැරදි තීරණයක් තවත් මැතිවරණයකදී නිවැරදි කළ නොහැකිද?
පාම් ඔයිල් කර්මාන්තයට සාධාරණය ඉටුවිය යුතුයි. දුප්පත්කම දුරු කළ හක්කේ නිෂ්පාදන ආර්ථිකයක් මතිනි.චීනයගියේ ඒ මඟෙහිය.ඉන්දියාව යන්නේත් මැලේෂියාව තායිලන්තය යන්නේත් ඒ පාරෙමය අපිට වෙනත් විකල්පයක් නැත. බුද්ධිකා බ්‍රාහ්මණගේ